සංවර්ධන සහ ආර්ථික ගැටලු ජනපතිගේ අවධානයට

ජූලි 18, 2020
  • රබර් සඳහා නිසි මිලක් දෙමින් දේශීය රබර් නිෂ්පාදනය වර්ධනයට ප්‍රමුඛත්වය දෙන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කරයි.

    එමඟින් රැකියා විරහිත පිරිස් කර්මාන්තයට ආකර්ශණය කර ගැනීමට හැකිවනු ඇතැයි එතුමා පෙන්වා දෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවදින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අද (18) කෑගල්ල දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වෙමින් සිටී. දැරණියගල සිරිසමන් මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේ දී සහ දැරණියගල නගරයේ ළමා උද්‍යානය අසළ දී ජනාධිපතිතුමා ජනතාව සමග සුහද කථා බහක නිරත විය.

    අතරමැදියන් නිසා රබර් කර්මාන්තයේ නිරතවුවන්ට නිසි මිලක් නොලැබෙයි. එබැවින් කර්මාන්තයේ නිරත පිරිස අඩු වී ඇතැයි ද ජනතාව ජනාධිපතිතුමා සමග පැවසූහ. ගම්මිරිස් ඇතුළු කුළු බඩු නිෂ්පාදනයේ නිරතවූවන්ගේ ගැටළු ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණ. හිටපු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් සහ අපේක්ෂක අජිත් ශාමින්ද යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගී වූහ.

    රුවන්වැල්ල දෙහිඕවිට මංසන්ධියේ දී අපේක්ෂක වයි.ජී පද්මසිරි මහතා සංවිධාන කර තිබූ ජන හමුවට සහ රුවන්වැල්ල මහජන ක්‍රීඩාංගණය ඉදිරිපිට පොළ භූමියේ දී අපේක්ෂක එල්.එච්. සුදත් මංජුල මහතා සංවිධාන කර තිබූ ජන හමුවට ද ජනාධිපතිතුමා සහභාගී විය. රැස්ව සිටී ජනකායගෙන් ජනාධිපතිතුමාට උණුසුම් පිළිගැනීමක් ලැබිණ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හඳුන්වාදුන් නව දේශපාලන සංස්කෘතිය පිළිබඳව ප්‍රශංසාව පළ කළ ජනතාව පෝස්ටර් භාවිත නොකොට හා පරිසරය අපවිත්‍ර නොකර ගෙනයන මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයඇගැයීමට ලක් කළහ.

    මොරලියගගබඩ මාර්ගය ඇතුළු අතුරු මාර්ග සංවර්ධනය සහ පානීය ජල ගැටළුව පිළිබදව ද ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කළහ. මාර්ග කි.මි ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්කයේ ග්‍රාමීය මාර්ග සංවර්ධනය කඩිනමින් ආරම්භ කරන්නැයි ජනාධිපතිතුමා හිටපු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාට උපදෙස් දුන්නේය.

    දිස්ත්‍රික්කයේ උපාධිධාරීන්ගේ ගැටළු සහ උපාධිධාරී සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ ඉල්ලීම් කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් මුඩු ඉඩම් නැවත අස්වැද්දීම පිළිබද ද ජනතාව ජනාධිපතිතුමා සමග සාකච්ඡා කළහ.

    Last modified on සෙනසුරාදා, 18 ජූලි 2020 20:09

    Latest News