සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නිවේදනය ප්‍රකාශයට (වීඩියෝ)

ජූලි 18, 2020
  • මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුලත් ගැසට් නිවේදනය ඊයේ ප්‍රකාශයට පත් කෙරිණ.

    2184/34 අංකය දරණ එම අති විශේෂ ගැසට් පත්‍රය නිරෝධායනය හා රෝග වැළැක්වීමේ ආඥාපනත යටතේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත. එළඹෙන මහ මැතිවරණයේ දී දේශපාලන පක්‍ෂ අපේක්‍ෂකයන් සහ ඡන්ද දායකයන් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ රෙගුලාසි එහි අන්තර්ගත වේ.

    පළමු නියෝගය, මෙම නියෝග 2020 අංක 1 දරණ කොරෝනා වෛරස් රෝගය නියෝග යනුවෙන් හැඳින්වේ.

    දෙවන නියෝගය, ඡන්ද විමසීම පැවැත්වෙන කාලසීමාව අතරතුර ඡන්ද විමසීමට අදාලව රැස්වීමක් සංවිධාන කිරීමට අදහස් කරනු ලබන සෑම තැනැත්තෙකුම ඒ රැස්වීම ආරම්භ කිරීමට පැය 24කට නොඅඩු කාලයකට පෙර, ඒ පිළිබඳ ලිඛිත දැන්වීමක් ඒ රැස්වීම පවත්වනු ලබන ප්‍ර දේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා වෙත ලබාදිය යුතුය.

    තුනේ දෙවැනි නියෝගය යටතේ වන, දැන්වීම් ලබාදුන් සංවිධායකවරයා ඒ රැස්වීම සඳහා සහභාගි වන තැනැත්තන් සංඛ්‍යාව 300 නොඉක්මවන බවට වගබලා ගත යුතුය.

    එසේ වුවද, දේශපාලන පක්‍ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නායකයා ඒ රැස්වීමට සහභාගි වන්නේ නම් ඒ රැස්වීම සඳහා සහභාගි වන තැනැත්තන් සංඛ්‍යාව 500 නොඉක්ම විය යුතුය.

    හතරවන නියෝගය, “අ“ යටතේ සංවිධායකවරයා විසින් ඒ රැස්වීම සඳහා පැමිණෙන සෑම තැනැත්තෙකුගේම නම, හැඳුනුම්පත් අංකය සහ එම තැනැත්තා සම්බන්ධ කරගත හැකි විස්තර පිළිබඳ වාර්තාවක් පවත්වා ගත යුතුය.

    එම නියෝගය (ආ) යටතේ, ඒ රැස්වීම සඳහා පැමිණෙන තැනැත්තන්ට සබන් හෝ විෂබීජ නාශක යොදා දෑත් සෝදා ගැනීමට ප්‍රමාණවත් පහසුකම් සැපයිය යුතුය. ඒ පරිශ්‍රයට පැමිණෙන සෑම තැනැත්තෙකුම ඒ පරිශ්‍රයට ඇතුළුවීමට ප්‍රථම දෑත් සෝදනු ලබන බවට වගබලා ගත යුතුය.

    එම නියෝගයේ (ඇ) යටතේ, කථිකයා ඇතුළුව ඒ රැස්වීම සඳහා පැමිණෙන තැනැත්තන් දෙදෙනෙකු අතර, මීටරයකට නොඅඩු සමාජ දුරස්ථ භාවයක් තබා ගැනීමට වගබලා ගත යුතුය.

    (ඈ) යටතේ ඒ රැස්වීම සඳහා පැමිණෙන සෑම තැනැත්තෙකුම සෑම විටකදීම මුඛ ආවරණයක් පැළඳ සිටින බවට වගබලාගත යුතුය සහ

    (ඉ) යටතේ තැනැත්තෙකු විසින් මයික්‍රොෆෝනය ඇතුළුව උපකරණ භාවිතයෙන් ඉක්බිතිවම ඒ උපකරණ විෂබීජහරණය කිරීමට හෝ විෂබීජහරණය කරවීමට සලස්වනු ලැබීමට වගබලාගත යුතුය.

    පස්වැනි වගන්තිය යටතේ ඡන්ද විමසීමක් පැවැත්වෙන කාලසීමාව අතරතුර ඡන්ද හිමියාගේ ඡන්දය ඉල්ලීමේ කාර්යය සඳහා හෝ අත් පත්‍රිකා හෝ වෙනත් මුද්‍රිත ද්‍රව්‍ය බෙදා හැරීමට ඒ ඡන්ද හිමියාගේ නිවෙස් වෙත පැමිණෙන තැනැත්තන් කණ්ඩායමක් තැනැත්තන් පස් දෙනෙකුට වඩා නොඉක්මවිය යුතුය.

    හයේ පස්වැනි නියෝගයේ සඳහන් තැනැත්තන් කණ්ඩායම (අ) යටතේ සෑම අවස්ථාවකම මුව ආවරණයක් පැළඳ සිටිය යුතු අතර, ඔවුනොවුන් අතර සහ නිවැසියන් සහ ඔවුනොවුන් අතර, මීටරයකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වා ගත යුතුය.

    (අ) යටතේ අත් පත්‍රිකා හෝ වෙනත් මුද්‍රිත ද්‍රව්‍ය නිවැසියන් වෙත බෙදා හැරීමට ප්‍රථම තමන්ගේ දෑත් විෂබීජහරණය කර ගනු ලැබිය යුතුය.

    හත්වැනි වගන්තිය යටතේ යම් ඡන්ද විමසීමක සෑම අපේක්‍ෂකයෙකුම, 

    (අ) යටතේ ඒ අපේක්‍ෂකයාගේ ඡන්ද කාර්යාලයට සහ එහි පරිශ්‍රයට පැමිණෙන සෑම තැනැත්තෙකුටම සබන් හෝ විෂබීජ නාශක යොදා දෑත් සේදීමේ ප්‍රමාණවත් පහසුකමක් සැපයිය යුතුය. ඒ කාර්යාලය හෝ පරිශ්‍රයට පිවිසෙන සෑම තැනැත්තෙකුම පරිශ්‍රයට පිවිසීමට පෙර දෑත් සෝදනු ලබනබවට වගබලා ගත යුතුය.

    (ආ) යටතේ ඒ අපේක්‍ෂකයාගේ කාර්යාලයේ සහ එහි පරිශ්‍රයේ සිටින තැනැත්තන් දෙදෙනෙකු අතර මීටරයකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වා ගන්නා බවට වගබලා ගත යුතුය.

    (ඇ) ඒ අපේක්‍ෂකයාගේ කාර්යාලයට සහ එහි පරිශ්‍රයට පැමිණෙන සෑම තැනැත්තෙකුම මුව ආවරණයක් සෑමවිටම පැළඳ සිටින බවට වගබලා ගත යුතුය.

    (ඈ) යටතේ, ඒ අපේක්‍ෂකයාගේ කාර්යාලයට සහ එහි පරිශ්‍රයට කිසිම මද්‍රසාරයක් රැගෙන නොඑන බවට හෝ එහිදී මධ්‍යසාරය පරිභෝජනය නොකරන බවට වගබලාගත යුතුය සහ

    (ඉ) ඒ, අපේක්‍ෂකයාගේ කාර්යාල සහ එහි පරිශ්‍රය තුළ සූදූ ක්‍රීඩාවේ හෝ හැකියාව උරගා බැලීමේ ක්‍රියාවේ නොයෙදෙන බවට වගබලා ගතයුතුය.

     

    (8) වගන්තිය, යම් ඡන්දපොළක සහ එහි පරිශ්‍රයේ ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන සහ එහි පරිශ්‍ර සහ මැතිවරණ කොමිෂන් සභාව සහ එහි පරිශ්‍රයේ සිටින සෑම තැනැත්තෙකුම

    (අ) යටතේ, ඡන්ද පොළකට සහ එහි පරිශ්‍රයට, ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානයකට සහ එහි පරිශ්‍රයට සහ මැතිවරණ කොමිෂන් සභාවට සහ එහි පරිශ්‍රයට ඇතුළුවීමට පෙර සබන් හෝ විෂබීජ නාශක යොදා ඔහුගේ දෑත් විෂබීජහරණය කළ යුතුය.

    (ආ) යටතේ, තැනැත්තන් දෙදෙනෙකු අතර, මීටරයකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වා ගත යුතුය සහ

    (ඇ) සෑම අවස්ථාවකම මුඛ ආවරණයක් පැළඳ සිටිය යුතුය.

     

    9 වගන්තිය, මේ නියෝගවල “ඡන්ද විමසීමක් පැවැත්වෙන කාලසීමාව“ යන්නෙන්, අවස්ථාවෝචිත පරිදි ජනමත විචාරණයක් හෝ ඡන්ද විමසීමක් හෝ පැවැත්වීම සඳහා ප්‍රකාශනයක් හෝ නියමයක් හෝ කරනු ලැබූ දිනෙන් ආරම්භව, අවස්ථානෝචිත පරිදි, ඒ ජනමත විචාරණයේ හෝ ඡන්ද විමසීමේ ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරනු ලබන දිනයෙන් අවසන් වන කාලසීමාව අදහස් වන්නේය යන්න ගැසට් නිවේදනයේ ඇතුලත්.

    Last modified on සෙනසුරාදා, 18 ජූලි 2020 20:06

    Latest News