අධ්‍යාපනය නංවන්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 100ක්

ඔක් 21, 2018

    මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සහනදායී ණය පදනම මත ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ප්‍රදානය කිරීමට ලෝක බැංකුව එකඟ වී තිබේ.

    2018-2024 කාලසීමාව තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙම ව්‍යාපෘතිය 2018-10-22 දින අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.

    ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ මූලික අරමුණි‍න් ආරම්භ කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා වැඩසටහන් ඉදිරි වසර 5 තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.

    ඒ අනුව, ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම යටතේ, විෂයමාලා නවීකරණය හා විවිධාංගීකරණයටත්, ගුරු සංවර්ධනයටත්, පාසල් පද්ධතියේ ගුණාත්මකභාවය තක්සේරුකරණයටත්, පාසල් නඟාසිටුවීමේ වැඩසටහන බලගැන්වීමටත්, අධ්‍යාපන නායකත්වය හා කළමනාකරණය දියත් කිරීමටත්, අධ්‍යාපනය තුළින් සමාජ සාධාරණත්වය හා අන්තර්කරණය ප්‍රවර්ධනය කිරීමටත් අදාළ ව සැලසුම් කළ වැඩසටහන් හා ක්‍රියාමාර්ග ඉදිරි වසර පහ තුළ ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා ඇත.

    2020 තිරසර සංවර්ධන අරමුණු සාක්ෂාත් කරගැනීමට හා බලගතු ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා වන 2025 දැක්මට අනුකූලව එම අරමුණු ළඟා කරගැනීමට ද මෙම ව්‍යාපෘතිය හරහා දායකත්වය ලැබෙන අතර, මෙම ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යාංශය, හා ඊට අදාළ ජාතික මට්ටමේ අනෙකුත් ආයතන, හා පළාත් අධ්‍යාපන ‍ආයතනවල සහයෝගීත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

    Last modified on ඉරිදා, 21 ඔක්තෝබර් 2018 08:31

    Latest News