අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කෙරුණු රංජන්ගේ නඩුවේ අද තත්වය

ජූලි 16, 2020

    අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට අදාළ නීතිපතිවරයාගේ දේශන ඉදිරිපත් කිරීම අද(16) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අවසන් කෙරුණා.

    සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහතුන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම දේශන ඉදිරිපත් කිරීම සිදු කෙරුණා.

    නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිස්ටර් ජෙනරාල් සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට පාදක වන අපහාසාත්මක ප්‍රකාශය තමා විසින් බැහැර නොකරන බවට වගඋත්තරකාර රංජන් රාමනායක විසින් අවස්ථා හතරකදී සපථ කර ඇතැයි සඳහන් කළා.

    අධිකරණයට අපහාස කිරීමේ චෝදනා පත්‍ර ගොනු කිරීමෙන් පසුව හතර වතාවක් මෙම ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය තුළදී වගඋත්තරකාර රංජන් රාමනායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙම නඩුවට පාදක වන ප්‍රශ්නගත අපහාසාත්මක ප්‍රකාශය තමා විසින් ඉවත් කර නොගන්නා බවට අවධාරණය කර ඇතැයි ද අතිරේක සොලිස්ටර් ජෙනරාල් වරයා පෙන්වා දුන්නා.

    "මං කියපු මතය ඉවත් කරගන්නේ නෑ"... "ජීවිතාන්තය දක්වා හිරේ දැම්මත් මගේ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නේ නෑ"..යනුවෙන් එම ප්‍රකාශ තුළින් ඔහු කරුණු දක්වා ඇතැයි පෙන්වා දුන් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා මේ හරහා ඔහු තමන් මුලින්ම සිදුකළ අපහාසාත්මක ප්‍රකාශය තවදුරටත් තහවුරු කර ඇතැයි ද පෙන්වා දුන්නා.

    ඊට අමතරව ඔහු සෑම නඩු වාරයක් අවසානයේදීම අධිකරණ පරිශ්‍රය තුළ ජනමාධ්‍ය වෙත සිදුකර ඇති ප්‍රකාශවලින් "අධිකරණය හොරු ධෛර්යමත් කරනවා.. අධිකරණය හොරු උත්තේජනය කරනවා...යනාදී වශයෙන් කරුණු ඉදිරිපත් කර ඇතැයි පෙන්වා දුන් අතිරේක සොලිස්ටර් ජෙනරාල් වරයා මේ තුළින් ඔහු විනිසුරුවරු නිසා දූෂිත පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බවට මහජනතාව වෙත ඒත්තු ගැන්වීමට උත්සාහ කර ඇතැයි චෝදනා කළා.

    රන්ජන් රාමනායක යනු ජනප්‍රිය නළුවකු මෙන්ම දක්ෂ දේශපාලකයෙකු වන අතර ඔහු විසින් ඉදිරිපත් කරන කරුණු ජනතාව විසින් පිළිගන්නා බව ඔහු සදහන් කළා.

    මෙහි ප්‍රතිඵලයක් ලෙස රංජන් රාමනායක විසින් අධිකරණය සම්බන්ධයෙන් කරුණු ලබන මෙවැනි ප්‍රකාශ හරහා අධිකරණ පද්ධතිය කෙරෙහි මෙරට ජනතාව තුල පවතින විශ්වාසය පළුදු වීමට හේතුවිය හැකි බව ද අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා අනතුරු අඟවා සිටියා.

    මෙම ප්‍රකාශ තුළින් අධිකරණයට අපහාස කිරීම සඳහා වගඋත්තරකාර රංජන් රාමනායක තුළ තිබූ චේතනාව මනාව පැහැදිලි වන බවත් අධිකරණ පද්ධතිය සහ විනිසුරුවරු වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා දේශපාලනඥයින්ට අවසරයක් හෝ බලපත්‍රයක් හිමිවී නොමැති බවත් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නා.

    අවසන් වශයෙන් සිය දේශනය ඉදිරිපත් කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න මහතා කියා සිටියේ වගඋත්තරකාර රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනා සම්පූර්ණයෙන්ම ඔප්පු වී තිබෙන බවයි.

    ඉන් අනතුරුව නීතිපතිවරයාගේ පාර්ශවයේ දේශනය ඉදිරිපත් කිරීම අවසන් කෙරුණු අතර වගඋත්තරකාර රන්ජන් රාමනායක මහතාගේ පාර්ශවයේ දේශන ඉදිරිපත් කිරීම අගෝස්තු මස 24 වන දා සිදුකිරීමට නියමිතව තිබෙනවා.

    2018 වසරේ අගෝස්තු මස 21 වන දා එවක අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ අරලියගහ මන්දිරයේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රංජන් රාමනායක හිටපු අමාත්‍යවරයා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කර තිබුණා.

    හිටපු අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය තුළින් ඔහු මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ හැරීමට ක්‍රියා කර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් මාගල්කන්දේ සුදන්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙක් වන සුනිල් පෙරේරා යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි ඉදිරිපත් කර තිබුණා.

    එම පැමිණිලි පදනම් කරගෙන නීතිපතිවරයා විසින් රන්ජන් රාමනායක හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම චෝදනා පත්‍රය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළා.

    Latest News