විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් 155ක් ගුරු සේවයට

ජූලි 14, 2020

    ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2015/2017 සහ 2014/2016 යන අධ්‍යයන වර්ෂයන්හී ජාතික ශික්ෂණ විද්‍යා පුහුණුව සාර්ථකව සම්පූර්ණ කළ ඩිප්ලෝමාධාරීන් 155 දෙනෙකු වෙත ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 - 1(ආ) ශ්‍රේණිය සඳහා ගුරු පත්වීම් ලබාදීම අද (14) අධ්‍යාපන ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

    මේ යටතේ සිංහල මාධ්‍ය ඩිප්ලෝමාධාරීන් 79ක්, දෙමළ මාධ්‍ය 28ක් සහ ඉංග්‍රීසි මාධ්‍ය 48ක් වෙත ගුරු පත්වීම් ලබා දෙන ලද අතර, ප්‍රාථමික අධ්‍යාපනය, විද්‍යාව, ගණිතය, මවුබස, දෙවැනි බස, ඉංග්‍රීසි, සමාජ විද්‍යාව, බුද්ධාගම, ශාරීරික අධ්‍යාපනය, වානිජ්‍යය, සංගීතය (කර්ණාටක), චිත්‍ර, නැටුම්, නාට්‍යකරණය හා රංගකලාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, කෘෂි හා ආහාර තාක්ෂණය, සැළසුම්කරණය හා තාක්ෂණවේදය, කලාව හා අත්කම්, ගෘහ විද්‍යාව, විශේෂ අධ්‍යාපනය, ශිල්ප කලා, නිර්මාණකරණය හා ඉලෙක්ට්‍රොණික තාක්ෂණවේදය යන විෂයයන් සඳහා මෙම ගුරුවරුන් බඳවා ගැනේ.

    ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ වලින් මේ දක්වා ගුරු පද්ධතියට එක්කරගෙන ඇති ගුරුවරුන් සංඛ්‍යාව මේ වනවිට 130,603කට අධික වන අතර, එය මෙරට සමස්ත ගුරු සංඛ්‍යාවෙන් 52.91%ක ප්‍රතිශතයකි.

    මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර, අතිරේක ලේකම් අනුෂා ගෝකුළ, අතිරේක ලේකම් හේමන්ත ප්‍රේමතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    Latest News