මද්‍රාසාවල ඉගැන්වීමට පැමිණෙන විදේශිකයන් නියාමනයට විරෝධයක්

ජූලි 10, 2020

    මද්‍රසා පාසල්වල ඉගැන්වීම් කටයුතු සඳහා මෙරටට පැමිණෙන විදේශිකයින් නියාමනය කිරීමට හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් මහතා විසින් ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට යාමේදී හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා සමස්ත ලංකා ජමීයතුල් උලමා සංවිධානයේ පිිරිසක් සමඟ පැමිණ ආරක්‍ෂක ලේකම් හමුවේ සිය විරෝධය දැක්වූ බව, අද අනාවරණය විය.

    පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්‍ෂි දෙමින් ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලයේ සේවය කළ හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරියෙකු මෙම ප්‍රකාශ සිදු කළේය.

    විදේශිකයින් අන්තවාදීන් නොවන බැවින් ඔවුන්ට ශ්‍රී ලංකාවට පැමිණ ඉගැන්වීම් කටයුතු කිරීමට ඉඩ දෙන ලෙස ඔහු ආරක්‍ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටි බව ද එම බුද්ධි අංශ නිලධාරියා ජනාධිපති කොමිසම හමුවේ අනාවරණය කළේය. රාජ්‍ය බුද්ධි ප්‍රධානී තනතුර බුද්ධි සමාලෝචන රැස්වීම්වලදී කතා පෙට්ටියක් පමණක් බවට පත්වූ බව සඳහන් කළ එම නිලධාරියා එය හුදු බෝඩ් ලෑල්ලකට පමණක් සීමා වී තිබූ බව ද කියා සිටියේය. පාස්කු ප්‍රහාරයෙන් 300ක් පමණ දෙනා මියයාමට වගකිව යුත්තේ, එවකට සන්නද්ධ හමුදාවල සේනාධිනායකයාව සිටි ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා බව ඔහු ප්‍රකාශ කළේය.

    එහෙයින් තමා කිසිවක් නොදන්නා බව කියමින් ඔවුන්ට වගකීම්වලින් මිදෙන්නට බැරි බව ද බුද්ධි අංශ නිලධාරියා කොමිසම හමුවේ අවධාරණය කළේය. එවකට සිටි ජනාධිපති සහ අගමැති අතර පැවති අන්තර් සම්බන්ධතාව බිඳවැටී තිබීම ජාතික ආරක්‍ෂාවට ප්‍රබල බලපෑමක් වූ බව ද සඳහන් කළ ඔහු, දින 52 රජයෙන් පසු එය තවදුරටත් උග්‍ර අතට පත් වූ බව ද කියා සිටියේය. ජනාධිපතිවරයාගේ පැජට් පාරේ පිහිටි නිවසේ ආරක්‍ෂක මණ්ඩල රැස්වීම පැවැත්වූ අතර, එම රැස්වීම්වලට අග්‍රාමාත්‍යවරයා සහ එවකට සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ට නොපැමිණෙන ලෙස ආරක්‍ෂක ලේකම් හරහා නිරන්තර දැනුම්දීම් කළ බව ද වැඩිදුරටත් සාක්‍ෂි දෙමින් යුද හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරියා සඳහන් කළේය.

    Latest News