පාතාලය සහ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමට වහාම පියවර ගන්නවා - අගමැති (වීඩියෝ)

ජූලි 10, 2020
  • පසුගිය ආණ්ඩුව සමයේ වසංගතයක් ලෙස පැතිර ගිය පාතාලය සහ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමට වහාම පියවර ගන්නා බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ අද පැවති ජනරැලි මාලාවට එක්වෙමින්.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජනරැලි මාලාවේ තවත් එක් ජන රැලියක් අද පැවැත්වුණේ හොරණ නගරයේදී.

    තවත් ජන රැලියක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අගලවත්ත ප්‍රදේශයේ දී අද පැවැත්විණ.

    මතුගම ප්‍රදේශයේ දී ද ජන රැලියක් සංවිධාන කර තිබිණ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරග කරන අපේක්‍ෂකයින් ද මේ අවස්ථාවට එක්වූහ.

    මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බුලත්සිංහල ප්‍රදේශයේ දී ද අද ජනහමුවක් පැවැත්විණ.

    කළුතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පරාක්‍රම බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් අද අග්‍රාමාත්‍යවරයා අතින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, සාමාජිකත්වය ලබාගත්තේය. පරාක්‍රම බන්දුල ගුණවර්ධන මහතා පසුගිය කාලයේ එක්සත් ජාතික පක්‍ෂයේ කලුතර දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස ද ක්‍රියා කළේය.

    එමෙන්ම කලුතර නගර සභාවේ හිටපු විපක්‍ෂ නායක එම්.ඒ.එම්. ඉල්ලියාස් මහතා සහ පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී කලුතර නගර සභාවට එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කළ වයි. එම් රේණුකා යාපා මහත්මියක ද අග්‍රාමාත්‍යවරයා අතින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තේය.

    මේ අතර බස්නාහිර පළාත් සභාවේ හිටපු අධ්‍යාපන අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා සහ අගලවත්ත ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කාන්තා බල මණ්ඩලයේ සභාපතිනිය වූ චිත්‍රා නන්දනී සෝමවංශ මහත්මිය මෙහිදී පොදුජන පෙරමුණ සමඟ එක්වූහ.

    Last modified on සිකුරාදා, 10 ජූලි 2020 20:12

    Latest News