දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙටත් වැසි

ඔක් 20, 2018

    දිවයින පුරා දැනට පවතින වැසි තත්වය හෙට (21) දිනයේත් අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

    ඒ අනුව බොහෝ ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද පැවසේ.

    මධ්‍යම, ඌව හා සබරගමුව පළාත්වල ද, අම්පාර, මඩකලපුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ද ඇතැම් ස්ථානයන්හි මිලිමීටර 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව ඔවුන්ගේ නිවේදනයේ දැක්වේ.

    සෙසු ප්‍රදේශවල විශේෂයෙන් උතුරු මැද සහ වයඹ පළාත්වල මිලිමීටර 100ට වැඩි තද වැසි හටගත හැකි බවද පැවසේ.

    අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

    දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇතිවේ. මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමායනු ඇතැයිද කාල ගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව සඳහන් කරයි.

    ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ඇතිවීමෙන් එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    Latest News