යහපාලන ආණ්ඩුව තමාට එරෙහිව දේශපාලන නඩුවක් ගොනු කළා - නියොමාල් රංගජීව

ජූනි 22, 2020

    තමාට එරෙහිව දේශපාලන නඩුවක් ගොනු කිරීමට යහපාලන ආණ්ඩුව පියවර ගත් බව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ පොලිස් පරීක්‍ෂක නියොමාල් රංගජීව මහතා පවසයි.

    පසුගිය පැවති ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වනු ඇතැයි යන පදනම මත ඔහුට බලපෑමක් කිරීමේ අරමුණින් අසත්‍ය කරුණු පදනම් කර ගනිමින් ඊට පියවර ගත් බව, ඔහු සඳහන් කළේය. රංගජීව මහතා මේ බව කියා සිටියේ, දේශපාලන පලිගැනීම් පිලිබඳ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව හමුවේ අද සාක්‍ෂි දෙමින්.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්‍ෂණය යටතේ තමාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කළ බව ඔහු සඳහන් කළේ. විමර්ශනයක ඇති වැදගත් අවස්ථා ඉස්මත්වීමට ඉඩ නොතබමින් අසත්‍ය කරුණු මත තමාට එරෙහිව අධි චෝදනා ගොනු කළ බව ඔහු කියා සිටියේය. මෙහිදී පැමිණිල්ලේ නීතිඥවරයා විමසා සිටියේ විමර්ශන ක්‍රියාවලිය අවසන්වීමට පෙර අධිචෝදනා ගොනු කිරීමටත්, විමර්ශන ක්‍රියාවලිය අතරමඟ නවතා දැමීමට ක්‍රියා කිරීමටත් හේතුව කුමක්ද යන්නයි. එහිදී රංගජීව මහතා ප්‍රකාශ කළේ, පසුගිය ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් වන බවට ලද ආරංචිය අනුව ඔහුට කැලලක් ඇති කිරීමේ අරමුණින් මෙම නඩුව හදිසියේ ගොනු කළ බවයි. ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සිදු කළ ප්‍රකාශයක් පිළිබඳ විස්තර කරමින් රංගජීව මහතා අද කියා සිටියේ කුඩා බණ්ඩාර නමැති සාක්‍ෂිකරුවෙක් එම මහාධිකරණය ඉදිරියේ ප්‍රකාශයක් කළ බවයි.

    ඔහු, වැලිකඩ බන්ධනාගාරයේ කැරැල්ල ඇති වූ දින නාඳුනන සොල්දාදුවන් දෙදෙනෙකු වැලිකඩ බන්ධනාගාරයට ගිය බවත්, ඉන් එක් පුද්ගලයෙකු රැඳවියන්ගේ නම් ලැයිස්තුවක් රැඳවියෙකු හමුවේ විමසූ බවත්, එකල ප්‍රසිද්ධියට පත් කෙරිණ. ඉන් එක් නාඳුනන සොල්දාදුවෙකු ඔය ලිස්ට් එක කාගේදැයි ප්‍රශ්න කර ඇති බවත්, එවිට අනෙක් නාඳුනන සොල්දාදුවා “ගෝඨා කිලර්ස් ලිස්ට්“ යන්න වාර්තා කර තිබූ බවයි, නියොමාල් රංගජීව මහතා අද කොමිසම හමුමේ සාක්‍ෂි දෙමින් කියා සිටියේය.

    වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් ඝාතනය කිරීමේ සිද්ධිය වූ දින එනම්, 2012 නොවැම්බර් 09 වැනි දින තමා සිටියේ වෙලේ සුදා නමැති සංවිධානාත්මක අපරාධකරුගේ නිවසෙහි මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ විමර්ශනයක නිරත වෙමින් බව රංගජීව මහතා කියා සිටියේය. කිසිදු අයුරකින් තමන් වැලිකඩ බන්ධනාගාර පරිශ්‍රයට නොගිය බව, ඔහු කොමිසම හමුවේ සාක්‍ෂි දෙමින් කියා සිටියේය. එහෙත්, අදාල නඩුවේදී තමන් වැලිකඩ බන්ධනාගාරයට ගොස් රැඳවියන් ඝාතනය කළ බවට අසත්‍ය සාක්‍ෂි ගොනු කිරිමට උත්සාහ කළ බව ඔහු සඳහන් කළේය. තමාට එරෙහිව සාක්‍ෂි ලබාදුන් පුද්ගලයන්ට පැවති ආණ්ඩුව උසස්වීම් ඇතුළු වරප්‍රසාද ලබාදීමට ක්‍රියා කළ බව, ඔහු ප්‍රකාශ කළේය. එවිට පැමිණිල්ලේ නීතිඥවරයා ප්‍රශ්න කලේ, එම සැලකිලි ලබාදුන්නේ කවුරුන්ද යන්නයි. පැවති ආණ්ඩුවෙන් එම විශේෂ සැලකිලි ලබාදුන් බව ඔහු සඳහන් කළේය.

    ඊට හේතුව කුමක්දැයි පැමිණිල්ලේ නීතිඥවරයා රංගජීව මහතාගෙන් ප්‍රශ්න කළේය. කථාවක් ගොතා අසත්‍ය සාක්‍ෂි ලබාදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාට කුමන හෝ බලපෑමක් කිරීමට ඔවුන්ගේ අරමුණ වූ බව රංගජීව මහතා කියා සිටියේය. තමා සහ තවත් කිහිප දෙනෙකුට එරෙහිව විමර්ශන ආරම්භ කෙරුණේ, ඩී.එම්. ස්වාමිනාදන් මහතා බන්ධනාගාර විෂයභාර අමාත්‍යවරයා ලෙස එවකට සිටි පොලිස්පතිවරයා ඇතුළු ඉහළ නිලධාරීන් ගෙන්වා සාකච්ජා කිරීමෙන් අනතුරුව බව ඔහු සඳහන් කළේය.

    Latest News