හිටපු ඇමති මහින්දානන්දට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය කල් යයි

ජූනි 22, 2020

    හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු මස 19 වනදා තෙක් කල් තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා නියෝග කළා.

    ඒ, ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමැති වෘත්තීය සමිතියේ සභාපති වරයා ලෙස කටයුතු කරමින් සිටියදී එම සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි ඔහුට චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබේ.

    නඩුව කැඳවූ අවස්ථාවේදී පැමිණිල්ල මෙහෙයවන රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමන්ට අංක 03 මහාධිකරණයේ වෙනත් නඩුවකට පෙනී සිටීමට නියමිතව තිබෙන හෙයින් මෙම නඩුවේ සාක්ෂි විභාගය වෙනත් දිනයකට කල් දමන ලෙස අයැද සිටියා.

    ඒ අනුව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු මස 19 වනදා තෙක් කල් තැබීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කළා.

    අද දින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනීසිටි සාක්ෂිකරුවන්ට මීළඟ නඩු දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද මෙහිදී විනිසුරුවරයා විසින් අවවාද කරන ලදී.

    ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නමැති වෘත්තිය සමිතියේ සභාපති වරයා ලෙස කටයුතු කරමින් සිටියදී එම වෘත්තිය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබුණි.

    Latest News