සමගි ජන බලවේගයේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි (වීඩියෝ)

ජූනි 22, 2020
  • හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් අනූ නව දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කළා.

    තීරණය ප්‍රකාශයට පත් කරමින් කොළඹ දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ මෙවැනි වාරණ නියෝගයක් ඉල්ලුම් කිරීමේ දී පැමිණිලිකරු විසින් සත්‍ය කරුණු ඒ ආකාරයෙන්ම අධිකරණය හමුවේ හෙළිදරව් කිරීම අවශ්‍ය බවයි.

    එහෙත් මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමේදී පැමිණිලිකරු සිද්ධිමය කරුණු යටපත් කරමින් අදාළ වාරණ නියෝගය අයද සිට ඇතැයි පෙන්වා දුන් දිසා විනිසුරුවරිය ඒ අනුව එම වාරණ නියෝගය නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවද සඳහන් කළා.

    කෙසේ වෙතත් නඩුව නැවත ජුලි මස 27 වනදා කැඳවීමට නියම කළ දිසා විනිසුරුවරිය අදාල පැමිණිල්ලේ වග උත්තර කරුවන් ලෙස නම් කර සිටින එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ එහි උප නායක රවී කරුණානායක යන මහත්වරු වෙත නොතීසි නිකුත් කිරීමට ද නියෝග කළා.

    අද දින සිට සති දෙකක් ඇතුළත විරෝධතා තිබේ නම් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද එම පැමිණිල්ලේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාට ද මෙහි දී අධිකරණය විසින් නියම කරනු ලැබුවා.

    පැමිණිලිකාර රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ල තුළින් සඳහන් කර තිබුණේ තමා ඇතුළු පිරිසක් සමගි ජන බලවේගය නැමැති සංධානයකින් නාමයෝජනා පත්‍ර භාරදීමෙන් පසුව සිය පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා විනය ක්‍රියාමාර්ග ගැනීමට වගඋත්තරකරුවන් තීරණය කළ බවයි.

    සමගි ජන බලවේගය නැමැති සන්ධානය ස්ථාපිත කළේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයකට අනුව බවත් එබැවින් එම සන්ධානය ස්ථාපිත කිරීමේ ක්‍රියාමාර්ගය තුළින් තමා ඇතුළු පිරිස එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර නොමැති බවත් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සිය පැමිණිල්ලෙන් සඳහන් කර තිබුණා.

    මේ හේතුවෙන්ම තමන් ඇතුළු පිරිසකට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධිකාරි මණ්ඩලය ගනු ලැබූ තීන්දුව නීතියට පටහැනි බවට තීන්දු කොට තම පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ වාරණ නියෝගයක් නිකුත් කරන ලෙසද රංජිත් මද්දුම බණ්ඩාර මහතා සිය පැමිණිල්ලෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණි.

    අදාළ පැමිනිල්ලේ විත්තිකරුවකු ලෙස නම් කර සිටි එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සිය විරෝධතාවලින් අධිකරණයට දන්වා තිබුණේ සමගි ජන බලවේගය නැමැති පක්ෂයක් ස්ථාපිත කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් කිසි විටෙකත් අනුමැතිය ලබාදී නොතිබූ බවයි.

    පැමිණිලිකාර රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිස සමගි ජන බලවේගය නැමැති පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන මැතිවරණය සඳහා එම පක්ෂයෙන් නාම යෝජනා භාරදී ඇති බවත් ඒ අනුව ඔවුන්ට එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය තවදුරටත් දැරීමට කිසිදු සුදුසුකමක් නොමැති බවත් අකිල විරාජ් කාරියවසම් මහතා අධිකරණය හමුවේ පෙන්වා දී තිබුණා.

    ඒ අනුව එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලිකරු ඇතුළු පිරිසට එරෙහිව පක්ෂය විසින් විනය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති බවත් එය වැළැක්වීම සඳහා වාරණය ගැන නිකුත් කළහොත් දැඩි අගතියක් සිදු විය හැකි බවත් අකිල විරාජ් කාරියවසම් මහතා සිය විරෝධතාවලින් වැඩිදුරටත් පෙන්වා දී තිබුණා.

    Last modified on සදුදා, 22 ජූනි 2020 20:17

    Latest News