සෞඛ්‍යාරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් නිදහස් හා සාධාරණ මැතිවරණයකට පසුබිම සකසන බවට ජනපතිගෙන් සහතිකයක්

ජූනි 18, 2020

    සෞඛ්‍යරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය වාතාවරණය සකසා දෙන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහතික වෙයි.

    කොවිඩ් 19 වසංගතය හමුවේ මැතිවරණය පැවැත්වීම සඳහා වූ නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ඉදිරිපත් කර තිබේ. මෙරට ඉතිහාසයේ මෙවැනි පසුබිමක පැවැත්වෙන පළමු මැතිවරණය මෙයයි. එහෙයින් සෞඛ්‍යරක්ෂාවට ප්‍රමුඛත්වය දෙමින් මැතිවරණ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට රජයේ පූර්ණ සහාය මැතිවරණ කොමිසමට ලැබෙන බව ජනාධිපතිතුමා කියා සිටී.

    සෞඛ්‍යාරක්ෂිත නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම ගැන සාකච්ඡා කරනු පිණිස ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී මැතිවරණ කොමිසමේ සභාපති සහ සාමාජිකයන් ජනාධිපතිතුමා හමුවූ අවස්ථාවේ මේ බව සඳහන් කෙරිණ.

    කොවිඩ් 19 මර්දනයට රජය සැලසුම් සහිතව මාස කිහිපයක් ඉතා කැපවීමෙන් ක්‍රියා කළේය. එය මැතිවරණය අපේක්ෂාවෙන් නොව ජනතාවත්, රටත් මාරාන්තික වසංගතයෙන් බේරා ගැනීමට කළ මෙහෙයුමක් බව එතුමා සඳහන් කළේය. මාස කිහිපයක් අනුගමනය කළ සෞඛ්‍ය ක්‍රියාදාමය අඛණ්ඩව ඉදිරියට ගෙන යන බව රාජපක්ෂ මැතිතුමා පැවසීය.

    මේ තත්වය පිළිබඳව ජනතාව අවබෝධයෙන් සිටීමෙන් කිසිදු සෞඛ්‍ය ගැටළුවකින් තොරව මැතිවරණයට මුහුණදිය හැකි බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. මැතිවරණයට අදාළ මූලික සැකසුම් සකසා ඇති බවත්, නිලධාරීන් ආරක්ෂක අංශ ඇතුළු සෙසු සියලු පාර්ශ්ව ඊට දායක කර ගන්නා බවත් මැතිවරණ කොමසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

    මැතිවරණ රාජකාරි සඳහා නිලධාරීන්ගේ අනිවාර්යය සහභාගීත්වය තහවුරු කිරීමට නෛතික පදනමක් සැකසීමේ වැදගත්කම සභාපතිවරයා පෙන්වා දුන්නේය. එකී නියමයන් ආයතන සංග්‍රහයට ඇතුළත් කළ යුතුව ඇතැයි ද දේශප්‍රිය මහතා පැවසීය. මහජන රැළිවලට සහභාගීවිය හැකි සංඛ්‍යාව සහ නිවෙස් වෙත ගොස් කරන ප්‍රචාරණයේදී සෞඛ්‍යරක්ෂාව පිළිබඳව සියලු පාර්ශ්ව වගකීමෙන් ක්‍රියා කිරීම මැතිවරණය සාර්ථක කර ගැනීමට උපකාර වන බව මහින්ද දේශප්‍රිය මහතා කීය.

    මැතිවරණ කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත කොවිඩ් 19 මර්දන නිර්දේශ ගැසට් පත්‍රියක් මගින් ප්‍රකාශයට පත් කිරීමේ අවශ්‍යතාව ද සභාපතිවරයා පෙන්වා දුන්නේය. සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව ඡන්ද මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් ගැටලුවක් ඇතිවුවහොත් අවශ්‍ය සහාය ලබාදීමට ද ජනාධිපතිතුමාගේ එකඟතාව පළ විය. ජුලි මස 31 වැනිදා සිට ගම්බිම් බලා පිටත්වන සහ මැතිවරණයෙන් පසු නැවත පැමිණෙන ජනතාව වෙනුවෙන් ප්‍රවාහන පහසුකම් සැලසීම ගැන ද දේශප්‍රිය මහතා අවධානය යොමු කළේය.

    මැතිවරණ කොමිසමේ සෙසු සාමාජිකයන් වන මහාචාර්ය රත්නජීවන් හූල් සහ එන්. ජේ. අබේසේකර, මැතිවරණ කොමිසමේ ලේකම් එච්. එම්. ටී. ඩී. හේරත්, ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. අටිගල, රාජ්‍ය පරිපාලන අමාතංශයේ ලේකම් ජේ. රත්නසිරි, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්වරු ද සාකච්ඡාවට එක්ව සිටියහ.

    Latest News