අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 2කට එරෙහි වරෙන්තු ක්‍රියාත්මක කරන ලෙස නියෝගයක්

ජූනි 17, 2020

    අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නිකුත් කළ වරෙන්තු ක්‍රියාත්මක කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් වරයාගෙන් නියෝග කරයි.

    2016 වසරේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසි දෙකක දී රුපියල් බිලියන 52 කට අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ යැයි කියන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අජහාන් ගාර්දිය පුංචිහේවා යන අය අත්අඩංගුවට ගැනීම සදහා නිකුත් කර තිබෙන වරෙන්තු ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර තිබේ.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු සැකකරුවන් 10 දෙනෙකුට අදාළ පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය කර තිබේ

    මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ වරෙන්තුව අහෝසි කරන ලෙස ඉල්ලා රවි කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් කිහිප දෙනකු අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළ අතර ඒ අනුව ඔවුන් වෙත පැනවූ වරෙන්තු ක්‍රියාත්මක නොකිරීමට තීරණය විය.

    එහෙත් අර්ජුන් මහේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා යන සැකකරුවන් අදාල වරෙන්තුවට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවැරීමක් සිදු නොකළ හෙයින් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කර තිබෙන වරෙන්තු ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

    Latest News