අර්ජුන මහේන්ද්‍රන්, හර්ජාන් ඇලෙක්සැන්ඩර් වෙයි - ජාත්‍යන්තර පොලිසිය

ජූනි 16, 2020

    මහ බැංකුවේ බැඳුම්කර නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින අර්ජුන මහේන්ද්‍රන් ඔහුගේ නම වෙනස් කරගෙන තිබෙන බවට ජාත්‍යන්තර පොලිසිය වාර්තා කර ඇතැයි නීතිපතිවරයා අධිකරණයට දැනුම්දෙයි.

    ජාත්‍යන්තර පොලිසිය වාර්තා කර ඇති ආකාරයට අර්ජුන් මහේන්ද්‍රන් විසින් ඔහුගේ නම හර්ජාන් ඇලෙක්සැන්ඩර් යනුවෙන් වෙනස් කර ගෙන තිබේ.

    මෙම නඩුව අද සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින දැනට අධිකරණය මගහැර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඔහුගේ නම හර්ජාන් ඇලෙක්සැන්ඩර් යනුවෙන් වෙනස් කර ගෙන තිබෙන බවට ජාත්‍යන්තර පොලිසිය මගින් වාර්තා කර ඇතැයි දැනුම් දුන්නා.

    ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා ආරම්භ කර තිබෙන උදර්පණ නීති ක්‍රියාදාමය තුළ සංශෝධනයක් කිරීමට අවශ්‍ය දැයි නීතිපතිවරයා විසින් සිංගප්පූරු නීතිපතිවරයාගෙන් විමසීමක් කළ බව සඳහන් කළ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් රණසිංහ මහතා එවැනි සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය නොවන බවට සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක් ලැබී ඇතැයි ද පැවසුවා.

    ඊට අදාළව මෙම නඩුව තුළද සංශෝධනයක් කිරීමට අවශ්‍ය නම් ඒ පිළිබදව ඉදිරියේ දී කරුණු දැක්වීමට අපේක්ෂා කරන බවයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා දැනුම් දුන්නේ.

    වැඩි දුරටත් කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා මෙම නඩුවේ 10 වන විත්තිකරු ලෙස නම් කර සිටින අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තා මේ වන විට සිංගපූරුවේ වාසය කරන බවත් ඔහුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා වෙත නැවත සිතාසි නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියා.

    ඒ අනුව එම විත්තිකරු වෙත යළි සිතාසී නිකුත් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නඩුව නැවත නොවැම්බර් මස 17 දා කැඳවන නිසයි නියම කළේ.

    Latest News