ආර්ථිකය යළි නගා සිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් නව ණය වැඩසටහනක්‌ (වීඩියෝ)

ජූනි 17, 2020
  • ආර්ථිකය යළි නඟා සිටුවීමට සහයවීමේ අරමුණින් බැංකු පද්ධතියට සහ ජනතාවට සහන රැසක් අත්වන නව ණය වැඩසටහනක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

    ඒ, ඊයේ සවස මහ බැංකු ප්‍රධානීන්ට ජනාධිපතිතුමා ලබාදුන් අවවාදාත්මක උපදෙස්වලට අනුවයි.

    ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා අවධාරණය කළේ, වැටුණු ආර්ථිකය ගොඩ නැගීමේ භාරධූර වගකීම පැවරී ඇත්තේ, මහ බැංකුවට බවයි. ආර්ථික පුනර්ජීවනය සඳහා රජය සිය යෝජනා ඉදිරිපත් කර තිබුණ ද ඊට මහ බැංකුවේ සහය මෙතෙක් ලැබී නොමැති බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    මෙම හමුවෙන් අනතුරුව ඊයේ රාත්‍රියේ දී මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්‍ෂ්මන් මහතාගේ ප්‍රධානත්වයෙන්, මුදල් මණ්ඩලය රැස්ව තිබේ. ඒ අනුව, 1949 අංක 58 දරණ මුදල් නීති පනතෙහි 83 වැනි වගන්තිය යටතේ නව න්‍ය වැඩසටහනක් හඳුන්වා දීමට තීරණය කරනු ලැබීය.

    මෙම වසරේ මාර්තු 27 වැනි දින හඳුන්වා දෙන ලද ප්‍රතිමූල්‍යකරණ යෝජනා ක්‍රමය යටතේ දැනට ලබාදී ඇති රුපියල් බිලියන 27.5ට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රලාභී වාණිජ බැංකුවලට 1%ක සහන පොලී අනුපාතිකයක් යටතේ පුළුල් පරාසයක ඇපකර පොරොන්දු මත අරමුදල් ලබාදීමට තීරණය කර තිබේ. එම පහසුකම දේශීය ව්‍යාපාර බොහොමයක් සඳහා බෙදීයාම සහතික කරමින් බලපත්‍රලාභී වාණිජ බැංකු එම අරමුදල් 4%ක පොලී අනුපාතිකයක් යටතේ ව්‍යාපාරවලට ලබාදෙනු ඇත. මෙම යෝජනා ක්‍රමය සහ දැනට පවතින ප්‍රතිමූල්‍ය යෝජනා ක්‍රම මගින් කොවිඩ්-19 වසංගතයෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහා රුපියල් බිලියන 150ක මූල්‍ය ප්‍රතිපාදන සැපයීමට නියමිතයි. මේ අතර, බලපත්‍රලාභී වාණිජ බැංකුවල ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2020 ජුනි 16 වැනි දින සිට 2% දක්වා අඩු කිරීමට ද මහ බැංකුව තීරණය කර තිබේ.

    මේ තුළින් දේශීය මුදල් වෙළෙඳපොළ වෙත රුපියල් බිලියන 115ක අතිරේක ද්‍රවශීලතාවක් සැපයේ. එමගින් බලපත්‍රලාභී වාණිජ බැංකුවල අරමුදල් පිරිවැය අඩු කිරීමටත් ආර්ථිකයේ ණය ප්‍රවාහ ගලා යාම වේගවත් කිරීමටත් හැකියාව ලැබෙනු ඇත. මේ යටතේ ව්‍යාපාර සහ කුටුම්භ වෙත ණය ලබාදීම ඉහළ නැංවීමට හැකි බව මහ බැංකුව පවසයි. මීට අමතරව, ඉදිකිරීම් අංශයේ ව්‍යාපාර විසින් අතීතයේ සිදු කරන ලද කොන්ත්‍රාත් ව්‍යාපෘති සඳහා ලැබිය යුතු මුදලට සමානව රජය නිකුත් කරන ඇපකරයක් මත ඉහත සඳහන් සහනදායී පොලී අනුපාතික යටතේ ණය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව අරමුදල් සම්පාදනය කිරීමට තීරණය කර තිබේ. මුදල් මණ්ඩලය විසින් ආර්ථික සහ මුල්‍ය වෙළෙඳපොළ වර්ධනයන් අඛණ්ඩව සුපරීක්‍ෂණය කරනු ලබයි.

    ඉදිරි කාලයේ දී ආර්ථික ක්‍රියාකාරිත්වයෙහි තිරසාර නඟා සිටුවීමකට සහයවීම සඳහා තවදුරටත් ප්‍රතිපත්ති සහ නියාමන ක්‍රියාමාර්ග ගන්නා බව මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන්. බැංකු කේෂ්ත්‍රයට ලබා දී ඇති මෙම විශේෂ සහන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රාජ්‍ය හා පෞද්ගලික බැංකු ප්‍රධානීන් ජාතික රූපවාහිනියට අදහස් පළ කළේය.

    Last modified on බදාදා, 17 ජූනි 2020 20:34

    Latest News