වැලිකඩට හෙරොයින් රැගෙන ගොස් ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

ජූනි 17, 2020

    2013 වසරේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3.6 ක් වැලිකඩ බන්ධනාගාරය තුළට සඟවාගෙන රැගෙන ගොස් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 60 හැවිරිදි කාන්තාවකට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන ලදී.

    සිද්ධිය වූ වකවානුවේ රිමාන්ඩ් සිරකාරියක්ව සිටි ශ්‍රියානි මාලා සේනානායක නැමැත්තියට මෙසේ දඬුවම් නියම විය.

    2013 වසරේ අගෝස්තු මස 30 වනදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කළ මෙම විත්තිකාර කාන්තාව හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 3.6 සඟවාගෙන වැලිකඩ බන්ධනාගාරයට රැගෙන යාමට තැත් කළ අවස්ථාවේ සිදුකරන ලද පරීක්ෂණයකදී මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබුණි.

    ඇය සන්තකයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගය තුළ ප්ලාස්ටික් පැකට් වශයෙන් අසුරන ලද මත්කුඩු පැකට් 216 ක් අන්තර්ගත වී තිබුණු බවද නඩු විභාගයේදී සඳහන් විය.

    දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකාරිය ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ මත්කුඩු සන්තකයේ තබා ගනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව සඳහන් කළා.

    විත්තිකාරිය 60 හැවිරිදි වියේ පසුවන වයෝවෘද්ධ කාන්තාවක් බැවින් ඇයට ලිහිල් දඬුවමක් නිමකර ලෙසයි ඇගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විත්තිකාර කාන්තාවට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.

    Latest News