පාර්ලිමේන්තුව විසුරුවීමේ ගැසට් නිවේදනය ආපසු කැඳවීමට නීතිමය ප්‍රතිපාදන නෑ..මනෝහර ද සිල්වා

මැයි 27, 2020

    පාර්ලිමේන්තුව විසුරුවා හරමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය ආපසු කැඳවීමට නීතිමය ප්‍රතිපාදන කිසිවක් නොමැති බව ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.

    මනෝහර ද සිල්වා මහතා කියා සිටියේ, පාර්ලිමේන්තුව විසුරුවා හළ දින සිට මාස තුනක් ඇතුළත මැතිවරණයක් පවත්වා, නව පාර්ලිමේන්තුව රැස් කළ යුතු බවට නීතිමය ප්‍රතිපදනයක් සලසා නොමැති බවයි.

    ජුනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම හා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලූ අවස්ථාවේ අතරමැදි පෙත්සම් ඉදිරිපත් කළ මහාචාර්ය පණ්ඩුල ඈදගම මහතා වෙනුවෙන් පෙනී සිටිමින් මනෝහර ද සිල්වා මහතා මේ බව කියා සිටියේය. පෙත්සම සලකා බැලෙන්නේ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ. මැතිවරණ දිනය තීරණය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට ස්වාධීන තීන්දුවක් ගත හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් දා ප්‍රකාශ කර තිබූ බව ද මනෝහර ද සිල්වා මහතා සිහිපත් කලේය. ඒ මහතා පෙන්වා දුන්නේ, එසේ තිබියදී මැතිවරණ දිනය නියම කිරීම හා මනාප අංක නිකුත් කිරීමට මැතිවරණ කොමිසම තවදුරටත් කාලය ඉල්ලීම විමතිය දනවන කරුණක් බවයි. මෙමගින් මැතිවරණ කොමිසම හා පෙත්සම්කරුවන් එක්ව මැතිවරණය කල්දැමීමට කටයුතු කර තිබේද යන ගැටලුව මතුවන බවට ඔහු චෝදනා කළේය. ඉන් අනතුරුව, අතරමැදි පෙත්සම්කරුවෙකු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතීඥ උදිත ඉලගහේවා මහතා සඳහන් කළේ, පෙත්සම්කරුවන් සිය පෙත්සම්වලින් ඉදිරිපත් කළ කරුණුවල පරස්පරතාවක් දක්නට තිබෙන බවයි.

    පෙත්සම් පිළිබඳ වැඩිදුර කරුණු සලසා බැලීම හෙට පෙරවරු 10.00ට යළි ආරම්භ කිරීමට නියමිතයි.

    Last modified on බදාදා, 27 මැයි 2020 18:36

    Latest News