කොවිඩ් රෝගීන් පරික්ෂා කළ හැකි රොබෝ යන්ත්‍රයක්

මැයි 19, 2020

    කොවිඩ් -19 රෝගීන් දුරස්ථව සිට පරීක්ෂා කළ හැකි නවීන කැමරා තාක්ෂණය සහිත සුවිශේෂී රොබෝ යන්ත්‍රයක් ඊයේ (18) විජේරාමයේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබීය.

    භාතිය කළුපහන ශිෂ්‍යයා විසින් නිර්මානය කරන ලද මෙම රොබෝ යන්ත්‍රය ජාතික පර්යේෂණ සභාවේ අධීක්ෂණය සහ අනුමැතිය යටතේ නිර්මාණය කරනු ලැබූවකි.

    මේ අතර ජාතික පර්යේෂණ සභාවේ නිර්දේශය මත මහාචාර්ය චන්දන ජයරත්න මහතා විසින් 'ස්වරක්ෂා' නමින් ජංගම දුරකථන ඇප් එකක් නිර්මාණය කරනු ලැබූ අතර, එම ඇප් එක ද මෙදින අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනමනු ලැබීය. 'ස්වරක්ෂා' ඇප් එක මඟින් කිසියම් පුද්ගලයකු කොවිඩ් -19 රෝගියකුට නිරාවරණය වන්නේ ද යන්න කල් තබා හඳුනා ගැනීමේ හැකියාව ඇති අතර සංචාරක ක්ෂේත්‍රය සඳහා එය වඩාත් ඵලදායී ලෙස භාවිතා කළ හැකිවනු ඇත. මෙම දුරකථන ඇප් එක සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ ජනතාවට නොමිලයේ ලබා දීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දෙනු ලැබීය.

    මෙම අවස්ථාවට විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් සිල්වා මහතා, මහාචාර්ය චන්දන ජයරත්න මහතා, ජාතික පර්යේෂණ සභාවේ ප්‍රධාන විධායක නිලධාරී මනීෂා රාජපක්ෂ මහත්මිය, විශේෂඥ වෛද්‍ය හේමන්ත දොඩම්පහළ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    Latest News