මැතිවරණ දිනය අභියෝගයට ලක්කළ පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම හෙට

මැයි 19, 2020

    ජුනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට්නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද දෙවන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිදුකෙරුණා.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් කැදවනු ලැබුවා.

    සමගි ජන බලවේගය සහ පාඨලී චම්පික රණවක හා කුමාර වෙල්ගම යන හිටපු අමාත්‍යවරු ඉදිරිපත් කළ පෙත්සම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව මාස තුනකට වැඩි කාලයක් එය යළි රැස් නොකර සිටීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් අවසර හිමි නොවන බව සඳහන් කළා.

    ඒ අනුව ඉකුත් මාර්තු මස 02 වන දා ජනාධිපතිවරයා විසින් විසුරුවා හල පාර්ලිමේන්තුව නැවත ජුනි මස 02 වන දා ට පෙර රැස්විය යුතු බවත් එසේ රැස් නොවන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය නීතිය ඉදිරියේ බලරහිත වන බවත් නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අවධාරණය කර සිටියා.

    එවැනි අවස්ථාවක විසුරුවා හරින ලද පැවති පාර්ලිමේන්තුව යලි බලාත්මක තත්ත්වයට පත්වන බව ද මෙහිදී නීතිඥවරයා පෙන්වා දුන්නා.

    ඉකුත් 2019 වසරේ සම්මත කළ විසර්ජන පනතට අනුව වත්මන් රජයට රාජ්‍ය මූල්‍ය භාවිතය සඳහා අවසර හිමි වන්නේ අප්‍රේල් මස 30 වනදා දක්වා පමණක් බවත් ඉන් පසුව පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව රාජ්‍ය මූල්‍ය භාවිතා කිරීමට රජයට හැකියාවක් නොමැති බවත් මෙහිදී නීතිඥ ප්‍රනාන්දු මහතා තර්ක කළා.

    ඒ අනුව අප්‍රේල් මස 30 වනදායින් පසුව පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව සිදුකරනු ලබන රාජ්‍ය මුදල් වැය කිරීම් සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක් බවයි ඔහු පෙන්වා දුන්නේ.

    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ඉදිරිපත් කළ පෙත්සම වෙනුවෙන් වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා සඳහන් කළේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් විසුරුවා හැරීමෙන් පසුව එය මාස තුනකට වැඩි කාලයක් රැස් නොකර සිටීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අවසරයක් හිමි නොවන බවයි.

    ඉකුත් 8 වන පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් ඉකුත් මාර්තු මස 02 වන දා නිකුත් කළ ගැසට් නිවේදනය තුළින් මහ මැතිවරණය අප්‍රේල් මස 25 වන දා පැවැත්විය යුතු බවටත් නව පාර්ලිමේන්තුව මැයි මස 14 වනදා රැස්විය යුතු බවටත් විධාන සලසා තිබූ බව ජනාධිපති නීතිඥ මොහොමඩ් මහතා පෙන්වා දුන්නේය.

    එහෙත් ජනාධිපතිවරයා නියම කළ පරිදි අප්‍රේල් මස 25 වනදා මහා මැතිවරණය පැවැත්වීමටත් මැයි මස 14 වනදා නව පාර්ලිමේන්තුව රැස් කිරීමටත් නොහැකි තත්වයක් උද්ගතව තිබේ. ඒ අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් මාර්තු මස 2 වනදා නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හමුවේ බල රහිත වන බවද ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා පෙන්වා දුන්නේය.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන වගන්තියට අනුව මහමැතිවරණය සඳහා දින නියම කිරීමේ බලය ජනාධිපතිවරයාට පමණක් හිමිවන බව ජනාධිපති නීතිඥ මොහොමඩ් මහතා පෙන්වා දුන්නේය.

    ඒ අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය තුළ මහ මැතිවරණය අප්‍රේල් මස 25 වන දා පැවැත්විය යුතු බවට සදහන් කර තිබේ.

    ඒ අනුව ජනාධිපතිවරයා විසින් නියම කරනු ලැබූ එම දිනය වෙනස් කොට මහමැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම ගෙන ඇති තීරණය නීති විරෝධී ක්‍රියාවක් බවත් ඒ තුළින් එම කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් මහතා චෝදනා කළේය.

    විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය හා එහි විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා වෙනුවෙන් නීතිඥ විරාන් කොරයා කරුණු දක්වමින් සඳහන් කර සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හළ දින සිට මාස තුනක නොඉක්මවන කාලසීමාවක් තුළ මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට විධිවිධාන සලසා තිබෙන බවයි.

    ඒ අනුව ඉකුත් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් මාර්තු මස 2 වනදා ගැසට් නිවේදනයක් නිකුත් කළ බවත් ඒ අනුව මහ මැතිවරණයක් පවත්වා නව පාර්ලිමේන්තුව ජුනි මස දෙවන දා ට පෙර රැස්කිරීම ආණ්ඩුකම ව්‍යවස්ථාවට අනුව අත්‍යවශ්‍ය කරුණක් බව ද නීතිඥ කොරයා මහතා පෙන්වා දුන්නා.

    එහෙත් වර්තමානයේ උදාවී ඇති තත්ත්වය මත ජුනි මස 02 වන දා ට පෙර නව පාර්ලිමේන්තුවක් රැස් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙන බව පෙන්වා දුන් නීතිඥ විරාන් කොරයා මහතා ඒ අනුව මාර්තු මස 02 වනදා ජනාදිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කරන ලද ප්‍රකාශය අඩංගු ගැසට් නිවේදනය නීතිය ඉදිරියේ බල රහිත වන බව ද සඳහන් කළා.

    එමෙන්ම අප්‍රේල් මස 25 වනදා සහ ජුනි මස 20 වන දා මහමැතිවරණය පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනද බල රහිත වන බවයි නීතිඥවරයා මෙහිදී අවධාරණය කළේ.

    මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය අංගයක් වුවත් වර්තමානයේ උදාවී ඇති තත්ත්වය මත නිදහස් සහ සාධාරණ මෙන්ම ආරක්ෂිත මැතිවරණයක් පැවැත්විය නොහැකි බවට සෞඛ්‍ය බලධාරීන් විසින් මත පළකර ඇතැයිද නීතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

    විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී නැගී සිටි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනි ද සිල්වා මහත්මිය මෙම පෙත්සම සම්බන්ධයෙන් තමන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දන්වා සිටියා.

    වගඋත්තරකාර ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ද අධිකරණයට දන්වා සිටියේ මේ සම්බන්ධයෙන් තමන් ඉදිරියේ දී මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.

    ඉන් අනතුරුව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ ලේකම් ආරියවංශ දිසානායක මහතා ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින හිටපු කථානායක කරු ජයසූරිය මහතා වෙත නොතීසි භාර දී නොමැති බව විනිසුරුවරු පෙන්වා දුන්නා.

    ඒ අනුව එම පෙත්සම සලකා බැලීම හෙට පෙරවරු 10 තෙක් කල් දැමූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල වගඋත්තරකාර කරු ජයසූරිය මහතාට අදාළ නොතිසි නොපමාව භාරදීමට පියවර ගන්නා ලෙස පෙත්සම්කාර පාර්ශ්වය නීතිඥවරයාට නියෝග කළේය.

    හෙට දින මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු කරුණු දැක්වීමට නියමිතව තිබේ.

    ජූනි මස විසි වනදා මහා මැතිවරණය පැවැත්වීම හා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදන අභියෝගයට ලක් කරමින් නීතිඥ චරිත ගුණරත්න, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමගි ජනබලවේගය, ‍ මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුළු පිරිසක් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 08 ක් ඉදිරිපත් කර තිබේ.

    එම පෙත්සම් සම්බන්ධයෙන් මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ‍පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු පාර්ශව කීපයක් විසින්ද අතරමැදි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත.

    Latest News