සමගි ජන බලවේගයේ නාම යෝජනා අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට විරෝධතා

මැයි 19, 2020

    සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ නාම යෝජනා අහෝසි කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට සීමිත විරෝධතා ඉදිරිපත් කරයි.

    ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් සහ රංජිත් මද්දුමබණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කරන ලද නාම යෝජනා පත්‍ර නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකාර පාර්ශවය විසින් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සීමිත විරෝධතා ගොනු කළා.

    ඒ අනුව පෙත්සමේ වගඋත්තරකරුවන් වන සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එහි මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරු වෙනුවෙන් මෙම විරෝධතා අධිකරණය හමුවේ ගොනු කර තිබෙනවා.

    පෙත්සම්කාර ඕෂල හේරත් මහතා අධිකරණයට කරුණු වසන් කර මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බව සජිත් ප්‍රේමදාස හා රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු අධිකරණය හමුවේ ගොනු කළ එම විරෝධතාවල සදහන් වෙනවා.

    ඊට අමතරව පෙත්සම්කාර ඔෂල හේරත් මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකු ලෙස කොළඹ දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වන බවත් ඒ සඳහා නාම යෝජනා ඉදිරිපත් කර තිබෙනවා.

    එහෙත් ඔහු එම කරුණු වසන් කර මෙම පෙත්සම ඉදිරිපත් කරන ඇති අතර අධිකරණය නොමග යවා ඇතැයි ද අදාළ විරෝධතාවල සඳහන් වෙනවා.

    එසේම පෙත්සම්කරු සමගි ජන බලවේගයේ හෝ අපේ ජාතික පෙරමුණ පක්ෂයේ සාමාජිකයකු නොවන අතර මෙවැනි පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඔහුට නීතිමය අයිතියක් නැති බවත් එවැනි පුද්ගලයකු ඉදිරිපත් කරන මෙම පෙත්සම පවත්වාගෙන යාමට අධිකරණයට නොහැකි බවටත් එම සීමිත විරෝධතාවල සඳහන් වෙනවා.

    එබැවින් මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස වගඋත්තරකාර සජිත් ප්‍රේමදාස හා රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

    මෙම පෙත්සම ලබන 22, වැනිදා සලකාබැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර නියම කර තිබේ.

    Latest News