මහමැතිවරණයට දින නියම කිරීමට එරෙහිව ගොනු කළ පෙත්සම සලකා බැලීම ඇරඹේ

මැයි 18, 2020

    ජුනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට්නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද පෙරවරුවේ ආරම්භ විය.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් කැදවනු ලැබිණි.

    එහිදී එක් එක් පෙත්සම් සඳහා පෙනී සිටින නීතිඥවරුන් ගෙ නියෝජන සටහන් කරගැනීමෙන් පසුව පෙත්සම සලකා බැලීම ආරම්භ කර තිබේ.

    අදාළ ගැසට් නිවේදන අභියෝගයට ලක් කරමින් නීතිඥ චරිත ගුණරත්න, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමගි ජනබලවේගය, ‍ මාධ්‍ය වේදී වික්ටර් අයිවන් ඇතුළු පිරිසක් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර තිබේ.

    එම පෙත්සම් සම්බන්ධයෙන් මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ‍පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු පාර්ශව කීපයක් විසින්ද අතරමැදි පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇත.

    Latest News