රාජිත CIDට බාරවෙයි

මැයි 13, 2020

    ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා ලද හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය දෝෂ සහගත යැයි තීන්දු කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා එම තීන්දුව ඉවත දැමීමට නියෝග කළේය.

    කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ලබාදුන් නියෝගය සම්බන්ධයෙන් මෝසමක් මාර්ගයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය. ඒ අනුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කලේ, රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි. එම නියෝගයට අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අද සවස ඔහු පදිංචිව සිටින නිවසන් වන මාලඹේ, තලාහේන, මුත්තෙට්ටුගොඩ ප්‍රදේශයේ නිවස විශේෂ පරීක්‍ෂාවට ලක් කළේය. එහෙත්, එම අවස්ථාවේදී රාජිත සේනාරත්න මහතා එම නිවසේ නොසිටි බව අප වාර්තාකරු කියා සිටියේය. සේනාරත්න මහතාගේ යැයි විශ්වාස කෙරෙන කළුතර ප්‍රදේශයේ නිවසක් වසා දමා ඇති බව අප වාර්තාකරු පවසයි. එහෙත් අද සවස රාජිත සේනාරත්න මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බාරවිය. එහිදී ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ එහි නිලධාරීන් පිරිසක් විසින්.

    Latest News