මුහුදු මහා විහාරය පුරාවිද්‍යා භූමියක් කරනවා; අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන (වීඩියෝ)

මැයි 13, 2020
  • ඓතිහාසික පොතුවිල් මුහුදු මහා විහාරයට අයත් භූමිය මසක් තුළ පුරාවිද්‍යා භූමියක් ලෙස ප්‍රකාශයට පත්කරන බව අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

    අදාළ බලධාරෟීන් සමඟ අද පැවති සාකච්ජාවකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. දැඩි අර්බුදයකට ලක්ව ඇති නැගෙනහිර පළාතේ පිහිටි මුහුදු මහා විහාරයේ ඉඩම් සීමා හඳුනා ගැනීම සහ එම සීමාවන් ගැසට් කර නිරවුල් කිරීම සම්බන්ධයෙන් සාකච්ජා පැවැත්විණ. ඒ ඉඩම් හා ඉඩම් සංවර්ධන, පරිසර හා පරිසර සම්පත් අමාත්‍යාංශයේදී. නැගෙනහිර පළාතේ ඉතිරිව ඇති පුරාවිද්‍යා ස්ථාන අතුරින් මුහුදු මහා විහාරයට අයත් භූමිය බෞද්ධ උරුමය සහිත අතිශය වැදගත් ස්ථානයක්.

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් 1951 වසරේ දී අක්කර 71ක භුමියක් විහාරස්ථානයට අයත් බව ප්‍රකාශයට පත්කර තිබූ අතර, 1965 වසරේ දී එය අක්කර 30ක් බව ගැසට් පත්‍රයක් මගින් සඳහන් කර තිබිණ. 2014ට පෙර පැවති රජය මුහුදු මහා විහාරයේ සංවර්ධන කටයුතු රැසක් සිදු කළ අතර, 2014න් පසු විහාරස්ථානයට අයත් අක්කර 30ක භූමිය ද සංවිධානාත්මක පිරිස් විසින් දිගින් දිගටම මංකොල්ලකෑම සිදුකරනු ලැබීය.

    ඒ අනුව, වටිනා පුරාවස්තු රැසක් විනාශයට පත්ව ඇති අතර, විහාරස්ථානයේ පැවැත්මට පවා මේ වනවිට දැඩි තර්ජන එල්ල වී තිබේ. සංවිධානාත්මකව සිදු කරන වැලි ජාවාරම නිසා වෙරළාශ්‍රිත භූමිය ද විනාශයට පත්ව ඇති අතර, ඇතැම් පිරිස් විහාරස්ථානය ආසන්නයේ ම වෙරළ ප්‍රදේශය සුසාන භූමියක් ලෙස භාවිත කරන ආකාරය දැකගත හැකිය.

    එම පිරිස් මුහුදු මහා විහාරවාසී පූජ්‍ය උඩලමත්තේ රතනප්‍රිය හිමියන්ට ජිවිත තර්ජන පවා එල්ල කරනු දක්නට ලැබිණ. මෙම තත්වය පිළිබඳ සළකා බැලූ වත්මන් රජය පසුගියදා මුහුදු මහා විහාරස්ථානයට අයත් භූමිය නිරීක්‍ෂණය කිරීම සඳහා නියෝජිත පිරිසක් යැවූ අතර, ඒ අනුව, කඩිනමින් එම භූමිය පුරාවිද්‍යා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ.

    Last modified on බදාදා, 13 මැයි 2020 20:32

    Latest News