ස්වර්ගස්ථ වූ නිකලස් මාකස් හිමිපාණන්ගේ අවසන් කටයුතු මීගමුව ශාන්ත මරියා දේවස්ථානයේදී (වීඩියෝ)

අප්‍රේ 13, 2020
  • ස්වර්ගස්ථ වූ විශ්‍රාමික අගරදගුරු අති උතුම් නිකලස් මාකස් ප්‍රනාන්දු හිමිපාණන්ගේ දේහය පිළිබදව අවසන් කටයුතු අද පස්වරුවේ මීගමුව - ශාන්ත මරියා දේවස්ථානයේදී සිදුකෙරිණ.

    ඒ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතවයි. රාගම - තේ වත්තේ එමවුස් මැදුරේදී උන්වහන්සේ පසුගිය සිකුරාදා ස්වර්ගස්ථ වන විට 88 වන වියේ පසුවිය.

    1959 පැවිදි දිවියට ඇතුලත් වූ උන්වහන්සේ පුරා වසර 25ක් කොළඹ අගරදගුරු පදවි දැරූ අතර 2002 වසරේ ජුලි 26 වැනි දින එම පදවියෙන් විශ්‍රාම ගත්තේය.

    ස්වර්ගස්ථ වූ විශ්‍රාමික අගරගුරු හිමිපාණන්ගේ දේහය පිළිබද අවසන් කටයුතු සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

    ඒ වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමන් එවූ ශෝක පණිවුඩය...

    “කොළඹ හිටපු හත්වැනි අගරදගුරු ආචාර්ය නිකලස් මාකස් ප‍්‍රනාන්දු හිමිපාණන් ස්වර්ගස්ථ වීම පිළිබඳ පුවත ඇසීමෙන් මම බලවත් සංවේගයට පත්වීමි.

    දෙවියන් වහන්සේ වෙනුවෙන් සහ ශී‍්‍ර ලාංකේය කතෝලික ප‍්‍රජාවගේ ආගමික, සමාජ යහ පැවැත්ම වෙනුවෙන් ජිවිතයම කැප කළ දිව්‍ය ප‍්‍රසාදීන් වහන්සේ අතරට නිකලස් මාකස් ප‍්‍රනාන්දු හිමිපාණන් වහන්සේගේ නාමය ද එක් වෙයි.

    එංගලන්තය, ඉතාලිය, ඇතුළු රටවල් කිහිපයක උසස් ආගමික අධ්‍යාපන ආයතන සහ විශ්වවිද්‍යාලවලින් දේව ධර්මය හා දර්ශනය පිළිබඳ උපාධි හිමි කර ගත් උන්වහන්සේ ස්වකීය ජීවිතය දෙවියන් වහන්සේගේ කැමැත්ත වෙනුවෙන්ම කැප කළහ. කතෝලික ප‍්‍රජාව අතර පමණක් නොව රටේ සෙසු ආගමිකයන් අතර ද ප‍්‍රසාදයට ගෞරවයට පත් නිකලස් මාකස් හිමිපාණෝ තරුණ වියේදීම කොළඹ හත්වැනි අගරදගුරු පදවියට පත්ව එතැන් පටන් වසර විසිපහකට ආසන්න කාලයක් එකී ගරු කටයුතු පදවිය හෙබවූහ.

    නිකලස් මාකස් හිමිපාණේ දක්ෂ පරිපාලකයෙකි. එසේම සංවිධාන සහ මෙහෙයවීම් පිළිබඳ කතෝලික සභාවේ විශේෂ ඇගයීමට ලක් වූ අගරදවරයෙකි. අතිඋතුම් දෙවන ජුවාම් පාවුළු පාප් වහන්සේ 1995 ජනවාරි මස ශ‍්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ ආගමික සහ සංවිධාන මෙහෙයුම නිකලස් මාකස් හිමිපාණන් වහන්සේගේ පූර්ණ අධීක්ෂණයෙන් සිදු විය.

    බෞද්ධ භික්ෂූන් වහන්සේ සහ සෙසු ආගමික උතුමන් සමග සමීපව ඇසුරු කරමින් ජාතික ආගමික පුනරුදය සහ ආගමික සහජීවනය උන්වහන්සේ අර්ථවත් කළහ. අප ඒ මෙහෙවර ද සිහිපත් කරන්නේ සමස්ත පුරවැසියාගේ ගෞරවයත්, කෘතවේදීත්වයත් උන්වහන්සේ වෙත පුද කරමිනි. ආචාර්ය නිකලස් මාකස් හිමිපාණන්ගේ ජීවිතය සරලකමින් හා කාරුණික ගුණයෙන් අනූන බව අප දැක තිබේ.

    ස්වර්ගස්ථ වී වදාළ කොළඹ හිටපු හත්වැනි අගරදගුරු ආචාර්ය නිකලස් මාකස් හිමිපාණන්ට ජේසුස් කිස්තූන් වහන්සේ තුළ සදාතන ජීවනය හිමි වේවා යි මම ප‍්‍රාර්ථනා කරමි.”

    Last modified on සදුදා, 13 අප්‍රේල් 2020 18:19

    Latest News