"අකුරු කරන නිවාඩුවෙන් - රටක් වටින පොතක්"

අප්‍රේ 13, 2020

    පාසල්‌ නිවාඩුවට ගෙදර සිටින දරුවන්ට වැඩ අල්ලන නැකනේදී පොතක්‌ ලිවීම ආරම්භ කළහැකි බව, අධ්‍යාපන අමාත්‍ය ඩලස්‌ අලහප්පෙරුම මහතා පවසයි.

    රටක් වටින ඔබගේ, රටක් වටින කතාව, රටක් වටින පොතක් බවට පෙරලන්න යැයි අධ්‍යාපන අමාත්‍යවරයා සිසු දරු දැරියන්ට ඇරයුම් කර සිටියි.

    “අලුත් අවුරුද්දක් උදාවෙනවා කියන්නෙ, ජීවිතය අලුතෙන් පටන් ගන්නටත් අවස්ථාවක් උදා වෙනවා කියන එකයි. සිංහල දමිළ අලුත් අවුරුද්දේ වැදගත් ම සංස්කෘතිකාංගයක් තමයි නැකත් චාරිත්‍ර. නැකතට වැඩ ඇල්ලීම ඒ අතුරින් සිසු දරු ඔබ සැමට ඉතා වැදගත්.

    මනුෂ්‍යත්වයේ අසිරිමත්භාවය කියන්නේ ඕනෑම, ජාතියක, ආගමක, සංස්කෘතියක යම් යහපත් ක්‍රියාකාරකම් භේදයකින් තොරව සැමරීමයි. එවැනි උතුම් මිනිස් ගුණාංගයක අවශ්‍යතාවය වෙනත් කිසි දිනකට වඩා වැඩියෙන් දැනෙන මොහොතක් මේ.

    ශ්‍රී ලාංකීය භූමිය ස්පර්ශ කරන සියලුම පාසැල් දරු දැරියන්ට මා ආරාධනය කළා, රටක් වටින පොතක් ලියන්නට. ඉතින් මේ අලුත් අවුරුද්දේ නැකතට වැඩ ඇල්ලීම, උතුම් ප්‍රාර්ථනාවක් සිත දල්වා ගෙන, දීප්තිමත් අනාගතයක මතු බලාපොරොත්තු පෙරදැරි කරගෙන, ඒ රටක් වටින පොතක් ලිවීමේ වීර පාරමිතාවට මුල පුරන්න කියා පියකු ලෙස මම ආදරණීය ඉල්ලීමක් කරන්න කැමතියි.

    සිංහල, දමිළ, මුස්ලිම් දුවේ පුතේ,

    13 වැනිදා රාත්‍රී 10.43 ට එළඹෙන අලුත් අවුරුදු වැඩ අල්ලන නැකතට ඔබේ පැන්සල පෑන අතට අරගෙන අප මාතෘභූමිය සෞභාග්‍යයේ හා සමගියේ අරුණැල්ලෙන් සරසන ලස්සන අනාගතයකට ගෙන යන රටක් වටින ඔබගේ, රටක් වටින කතාව, රටක් වටින පොතක් බවට පෙරලන්න.

    ඔබේ මනරම් නිරෝගී අනාගතය වෙනුවෙන් ඔබේ මව්රට මහන්සියෙන්, උනන්දුවෙන් වැඩකරන මේ මොහොතේ ඔබ ලද මේ අවස්ථාව අත හරින්න එපා.., හෙට පිපෙන දස දහසක් සිසු දරු පොත්වලින් අපේ මුලු රටම සුවඳවත් කරමු. මුලු ලොවටම ඔබේ ලස්සන පණිවිඩය ලබා දෙමු.

    අත හරින්න එපා... අත් නොහැර අල්ලගමු... අඳින, ලියන මේ වැඩෙන් ම මේ අලුත් අවුරුද්දේ වැඩ අල්ලමු.” යැයි අමාත්‍යවරයා සිසු දරුවන්ට ඇරයුම් කර සිටියි.

    Latest News