විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ඇරඹීම මැයි 18 වනදා

අප්‍රේ 12, 2020

    ශ්‍රී ලංකාවේ සියලු විශ්වවිද්‍යාල යළි විවෘත කිරීම අදියර 03 ක්‌ ඔස්සේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන්‌ සභාවේ සභාපති මහාචාර්ය සම්පත්‌ අමරතුංග මහතා පැවසීය.

    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය.

    පළමු අදියර ලෙස 2020 මැයි 04 වැනිදා විශ්වවිද්‍යාල අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩලය සඳහා පමණකි. මෙහිදී, කැඳවිය යුතු කාර්යය මණ්ඩලය තීරණය කිරීමේ බලය සම්පූර්ණයෙන්ම ඒ ඒ විශ්වවිද්‍යාලයන් හි උපකුලපතිවරුන්‌ වෙත පැවරෙනු ඇත.

    දෙවන අදියර ලෙස 2020 මැයි 11 දින විශ්වවිද්‍යාල විවෘත කෙරෙනුයේ ඒ ඒ උපාධි පාඨමාලාවන්ට අදාළ අවසන්‌ වසර සිසුන්‌ සඳහා පමණකි. ඒ අනුව, වෛද්‍ය විද්‍යා පාඨමාලාවන්හිදී පස්වන වසර සිසුන්ද විශේෂ උපාධි පාඨමාලාවන්හිදී සිව්වන වසර සිසුන්ද සාමානා උපාධි පාඨමාලාවන්හිදී තුන්වන වසර සිසුන්ද යනාදී වශයෙන්‌ ඒ ඒ පාඨමාලාවට අදාළ අවසන්‌ වසර සිසුන්‌ සඳහා විශ්වවිද්‍යාල විවෘත කෙරෙනු ඇත.

    තෙවන අදියර ලෙස 2020 මැයි 18 දින සියලුම විශ්වවිද්‍යාල සිසුන්‌ සඳහා විශ්වවිද්‍යාල විවෘත වේ.

    මේ අයුරින්‌ විශ්වවිද්‍යාලයන්හි අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමේදී කොරෝනා වසංගත තත්වයෙන්‌ ආරක්ෂා වීම සඳහා ගතයුතු සෞඛ්‍යාරක්ෂක පියවර සම්බන්ධයෙන්‌ සෞඛ්‍ය අමාත්‍යශය හා එක්ව ඉතා ඉක්මනින්‌ චක්‍රලේඛයක්‌ නිකුත්‌ කිරීමට බලාපොරොත්තු වන බවද මහාචාර්ය සම්පත්‌ අමරතුංග මහතා වැඩිදුරටත්‌ පැවසීය.

    Latest News