නාවික මෙහෙයුම්වලින් රු.කෝටි 327 ක හෙරොයින් හා අයිස් අත්අඩංගුවට

අප්‍රේ 11, 2020

    ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේ සිදුකරන ලද සංචාරයන් මඟින් හෙරොයින් කිලෝ ග්‍රෑම් 260ක් හා අයිස් කිලෝ 56ක් පමණ නාවික හමුදා බාරයට ගෙන තිබේ.

    ශ්‍රී ලංකාවේ සිට මුහුදු සැතපුම් 548 (දල වශයෙන් කි.මී 985 පමණ) දුරකින් වු ගැඹුරු මුහුදේදී රාජ්‍ය ධජ හිමි නැති (Flag Stateless) විදේශිය යාත්‍රාවක් නිරීක්‍ෂණය කර එය සෝදිසි කිරීමේදී හෙරෝයින් කි.ග්‍රෑ 260 සහ අයිස් කි.ග්‍රෑ 56 සමඟ ඉරාන ජාතිකයින් බවට සැක කරන පුද්ගලයින් 7 අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙය මෙම අවුරුද්ද තුළ මෙයට පෙර ගැඹුරු මුහුදේ දී අත්අඩංගුවට ගන්නා ලද යාත්‍රා 3හි සිටි පුද්ගලයින්ගේ ප්‍රශ්න කිරීමේ දී ලද තොරතුරු මෙන්ම ජාත්‍යන්තර තොරතුරු හුවමාරුව, චන්ද්‍රීකා දුරකථනවල දත්ත විශ්ලේෂණය කිරීමේ දී අනාවරණය වු කරුණු මත ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කල මෙහෙයුමක ප්‍රථිපලයක් ලෙස මෙම මත්ද්‍රව්‍ය ‍තොගය සොයා ගැනීමට හැකිවු බව නාවික හමුදාව සඳහන් කරයි.

    එම විශ්ලේෂණයන් මත මාර්තු මස 30 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු අවේක්‍ෂණ නෞකාවක් දින 14ක සාගරික මෙහෙයුමකට අදාල මුහුදු ප්‍රදේශය වෙත යොමු කර ඇත.

    දින 2 ක ගමනකින් පසු නෞකාව සමකය පසුකර කලින් හඳුනා ගත් මුහුදු ප්‍රවේශ මාර්ගයන් දින 09 ක් පුරාවට නිරීක්‍ෂණය කර ඊයේ(10) දින උදැසන 11:00 ට පමණ මත්ද්‍රව්‍ය රැගෙන එමින් තිබු විදේශීය යාත්‍රාව සොයා ගෙන තිබේ.

    මෙම මුහුදු මෙහෙයුමේ දී චන්ද්‍රිකා ජායාරූප ද ජාත්‍යන්තර සහයෝගය මත ලබාගත් අතර, එම දත්තයන්ද විශේෂයෙන් මෙම ප්‍රවේශ මාර්ගයන් තහවුරු කර ගැනීමට පිටුවහලක් වී ඇත.

    මෙවර අත්අඩංගුවට පත් මත් ද්‍රව්‍ය කෝටි 327 ක් පමණ වටිනාකමකින් යුක්ත වන බවට තක්සේරු කර ඇති අතර, මෙම තොගයද සමඟ මේ වසරේ පමණක් දැනට ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් මත් ද්‍රව්‍ය ප්‍රමාණය හෙරෝයින් කි.ග්‍රෑ 687 ක්, අයිස් කි.ග්‍රෑ 795 ක් සහ කැටමයින් කි.ග්‍රෑ 579 ක් වශයෙන් සටහන් වෙයි.

    Latest News