කේරළ ගංජා 93kgකට අධික ප්‍රමාණයක් නාවික හමුදා භාරයට

අප්‍රේ 23, 2020

    ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (22) දින යාපනය, වෙත්තලකේනි, කඩෙයිකාඩු දකුණු වෙරළ තීරයේදී මුහුදේ සිට ගොඩබිමට ඩිංගි යාත්‍රාවක් මගින් ගෙන ඒමට උත්සාහ කළ කේරළ ගංජා කිලෝග්‍රෑම් 93කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් වී ඇත.

    යාපනය, වෙත්තලකේනි, කඩෙයිකාඩු වෙරළ තීරයේ වෙරළ නීරීක්‍ෂණ මුරකුටියක රාජකාරි නියුතු උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ නාවික අණුකණ්ඩ වෙත්තලකේනි ආයතනයේ රේඩාර් මධ්‍යස්ථානයේ රාජකාරි සිදුකළ නාවික පුද්ගලයින් පිරිසක් විසින් සැක සහිත යාත්‍රාවක් නිරීක්‍ෂණය කර ඇති අතර, පසුව එම යාත්‍රාව ගොඩබිමට සේන්දු වන අවස්ථාවේදී එය පරීක්‍ෂාවට ලක්කර එහි තිබී පාර්සල් 44ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 93කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් වීය.

    මෙහිදී එම කේරළ ගංජා තොගය සමඟ අදාල යාත්‍රාවේ සිටි පුද්ගලයින් දෙදෙනෙක්, ධීවර යාත්‍රාව සහ එහි තිබූ තවත් ධීවර ආම්පන්න කිහිපයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලද අතර, මෙම යාත්‍රාවේ සිටි පුද්ගලයින් තලයාඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 සහ 35 යන වයස් වල පසුවන්නන් බවට හදුනාගෙන ඇත. මෙලෙස නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින්, කේරළ ගංජා තොගය, ඩිංගි යාත්‍රාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා සංකානේ සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදි.

    තවද, රටතුල පවතින වාතාවරණය මත අදාල යාත්‍රාව, එහි තිබූ කේරළ ගංජා සහ සැකකරුවන් නාවික හමුදා උතුරු නාවික විධානයට අනුයුක්ත රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ හා න්‍යෂ්ටික (Chemical, Biological, Radiological and Nuclear) හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය විසින් පූර්ණ විෂබීජහරණයකට ලක් කිරීමෙන් අනතුරුව පරීක්‍ෂා කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදි.

    Latest News