රජයේ හා සෞඛ්‍ය උපදෙස්වලට අවනතව ජේසු සමිදුන් වෙනුවෙන් කැප වෙන්න..ජනපති

අප්‍රේ 10, 2020

    කිස්තුස් වහන්සේගේ උට්ඨානය සිහි කෙරෙන පාස්කු මංගල්‍යය සිහිපත් කිරීමෙන් වර්ධනය කර ගන්නා ශාන්තදායී හැගීම් සහෝදර ජනතාව අතර පේ‍්‍රමය, සාමය සහ සහජීවනය උදා කිරීමට උපකාරී වනු ඇතැයි, තමන් විශ්වාස කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    අදට (10) යෙදී ඇති පාස්කු දිනය වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ ඒ බව සඳහන්.

    සිය ආත්මය සහ මනස පිරිසිදු කර ගැනීම එහි ප්‍රමුඛ අර්ථයයි. කිතුනු භක්තිකයන් ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය, මරණය, උත්ථානය සිහි කරමින් චතාරිකා සමය ගත කරන්නේ අධ්‍යාත්මික වතාවත්හි නිරත වෙමිනි. එමගින් වර්ධනය කර ගන්නා ශාන්තදායී හැඟීම් සහෝදර ජනතාව අතර ප්‍රේමය, සාමය හා සහජීවනය, උදා කිරීමට උපකාරී වනු ඇතැයි මම විශ්වාස කරමි.
    වර්තමානයේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය සමග ලෝක ප්‍රජාව මුහුණ දී ඇති බරපතල ව්‍යසනය සියලු බැතිමතුන් කම්පාවට පත් කර තිබේ. ජීවමාන දේව පුත්‍රයාගේ සහ පියාණන්ගේ දිව්‍ය මහිමයෙන් දුකට පත් සියලු ජනතාවට අස්වැසිල්ලක් අත්කර දීම ඔවුන්ගේ අපේක්ෂාවයි.

    පාස්කු දින මංගල්‍යය මෙරට කිතුණු බැතිමතුන්ගේ සොඳුරු ආගමික මතකයයි. එහෙත් පසුගිය වසර ඉතා වේදනාත්මක එකක් බවට පත්විය.

    අදටත් එහි කම්පනය මැකී ගොස් නැත. රජයේ කැපවීම වේදනාවට පත් ජනතාවට සාධාරණය ඉටු කිරීමයිඤ. එසේම එවන් වූ සිදුවීම් මාතෘ භූමියෙන් තුරන් කිරීමට ද රජය දැඩිව වග වී සිටී.

    රටත් ජනතාවත් අතිශය අභියෝගාත්මක සෞඛ්‍ය තර්ජනයකට මුහුණ පා සිටින මේ මොහොතේ රජය සහ සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස්වලට අවනතව මෙරට කිතුණු ජනතාව ජේසු සමිදාණන් වෙනුවෙන් කැප වනු ඇතැයි රජය බලාපොරොත්තු වෙයි.

    ජේසුස් වහන්සේගේ දේශනා සිහි කරමින් මනුෂ්‍යයා පාපයෙන් මුදා ගැනීමට සියලූ දෙනාට හැකි වේවා යැයි ප‍්‍රාර්ථනා කරන බව ද එහි වැඩිදුරටත් දැක්වෙනවා.

    Last modified on සිකුරාදා, 10 අප්‍රේල් 2020 08:40

    Latest News