COVID-19 නිසා සෑම තැනම නිරෝධායන ස්ථාන

අප්‍රේ 01, 2020

    COVID-19 නිසා නිරෝධායනයට ලක් කළ විවිධ ස්ථාන ගැන වාර්තා වේ.

    පසුගියදා බණ්ඩාරගම අටළුගම ප්‍රදේශයේ එකම පවුලේ පුද්ගලයින් තිදෙනෙකුට COVID-19 රෝගය වැළඳී තිබියදී හඳුනා ගැනීමත් සමඟ ප්‍රදේශයට දැඩි ආරක්‍ෂක විධිවිධාන පනවනු ලැබීය. ඒවා තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි. අටළුගම ප්‍රදේශයට ඇතුළුවන සියලු මාර්ග මේ වනවිට වසා දමා තිබේ. අටළුගම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් සැපයෙන් සියළුම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවන් දැඩි සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ලබාදෙන ආකාරය දැකගත හැකිවිය. ප්‍රදේශයේ සංසරණය වන මුදල් පවා සෞඛ්‍ය අංශ විසින් විෂබීජානුහරණය කරනු දක්නට ලැබුණු බව අප වාර්තාකරු පවසයි.

    මේ අතර මහනුවර අකුරණ ප්‍රදේශයට පැමිණිම සහ එම ප්‍රදේශයෙන් පිටතට යාම ද පසුගියදා තහනම් කෙරිණ. එය ද තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ එම ප්‍ර දේශයේ COVID-19 ආසාදිත රෝගියෙකු හමුවීමත් සමඟයි. එම රෝගියා හමුවූ ප්‍රදේශයට දැඩි ආරක්‍ෂක විධිවිධාන යොදවා ඇති ආකාරය දක්නට ලැබිණ.

    එමෙන්ම බේරුවල, චීන කොටුව, පන්නිල යන ප්‍රදේශවල පවුල් 52ක පුද්ගලයින් නිරෝධායනය සඳහා යොමුකර තිබේ. ඒ එම ප්‍රදේශවලින් COVID-19 ආසාදිත රෝගීන් 13 දෙනෙකු හමුවීමත් සමඟයි. ඔවුන් ආශ්‍රය කළ පුද්ගලයින් සහ එම පුද්ගලයින් සැරිසැරූ ප්‍රදේශවල සිටි පුද්ගලයින් මෙලෙස නිරෝධායනයට යොමුකර තිබේ.

    තවද, හම්බන්තොට ප්‍රදේශයේ පවුල් දෙකක පුද්ගලයින් ස්වයං නිරෝධානයට ලක්කර තිබේ. එම එක් පවුලක පුද්ගලයින් පසුගියදා බේරුවල ප්‍රදේශයේ පිරිසකට තමාට අයත් නිවසක් කුලී පදනම යටතේ ලබාදී තිබේ. එම එක් පුද්ගලයෙකුට කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට පසුව වාර්තා වී තිබේ. ඒ අනුව නිවස කුලී පදනම මත ලබාදුන් පවුල සහ අසල්වාසී පවුල මෙලෙස නිරෝධායනයට ලක්කර තිබේ.

    එසේම සිංගප්පුරුවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ද කොවිඩ් 19 රෝගයට ගොදුරු වී ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන්. ජාතික රූපවාහිනිය කළ විමසුමකදී ශ්‍රී ලංකාවේ සිංගප්පූරු තානාපති කාර්යාලය ද එය තහවුරු කළේය. රෝගීන් දෙදෙනා අවුරුදු 33 සහ 37 වයස්වලට අයත් පිරිමි පුද්ගලයන් බව, සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේඛනයේ දැක්වේ.

    Latest News