සෞඛ්‍ය අමාත්‍යවරිය සියළුම වෘත්තීය සමිති නායකයින් සමග විශේෂ සාකච්ඡාවක (වීඩියෝ)

මාර් 30, 2020
  • සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ වෘත්තීය සමිති නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (29) පවත්වන ලදි.

    දිවයින පුරා දැනට උද්ගත වී පවතින COVID-19 කොරෝනා වෛරසය පැතිරීම පාලනය හා මර්දනය කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව සහ දැනට එම කාර්යයන්වල යෙදී සිටින වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළීබදව සොයාබැලීම මෙහි අරමුණයි.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඇතුලු වෘත්තීය සමිති 20 කට පමණ ආසන්න සංඛ්‍යාවක නියෝජිතයින් මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

    මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඇතුලු විධායක කමිටුව විසින් කොරෝනා වෛරසය මර්දනය කිරීම සදහා ගත යුතු විශේෂීත යෝජානා කිහිපයක් පිළිබද සෞඛ්‍ය අමාත්‍යතුමිය දැනුවත් කළේය. ඉන් අනතුරුව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරත්තෙට්ටුවේ ආනන්ද හිමි ඇතුලු විධායක කමිටුව විසින් දැනට රෝහල්වල සේවයේ නියුතු හෙද කාර්ය මණ්ඩලවලට මුහුණ දීමට සිදුවී ඇති ප්‍රධාන ගැටලු කිහිපයක් පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරියගේ අවධානය යොමු කළේය. ඒ අනුව එම ගැටලු ක්ෂණිකව නිරාකරණය කිරීමට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට උපදෙස් ලබාදෙන ලදි.

    මෙම සාකච්ඡාවන් දෙක සෞඛ්‍ය අමාත්‍ය කාර්යාලයේ දී පැවැති අතර, අනෙකුත් සියලු වෘත්තීය සමිති නියෝජිතයින් සමග පැවැති සාකච්ඡාව නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විනි. මෙහිදී වෘත්තීය සමිති නායකයින් පෙන්වා දුන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සදහා ගෙනයන වැඩපිළිවෙලට සියලුම වෘත්තීය සිමිති ඒකාබද්ධව කොන්දේසි විරහිතව සහයෝගය ලබාදෙන බවයි. මෙහිදී ඔවුන්ට මුහුණ දීමට සිදුව තිබෙන ප්‍රවාහන පහසුකම් සහ අහාරපාන සහ නවාතැන් පහසුකම් උපරිම වශයෙන් ලබාදීමට කටයුතු කරන ලෙසට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෙත උපදෙස් ලබාදෙන ලද අතර, ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කරන බව ද අමාත්‍යතුමිය විසින් සියළු වෘත්තීය සමිති නියෝජිතයින් වෙත ප්‍රකාශ කරමින් කොරෝනා වෛරසය මර්දන වැඩසටහන සදහා ලබාදෙන සහයෝගයට සිය ස්තූතිය පළ කරන ලදි.

    Last modified on සදුදා, 30 මාර්තු 2020 16:17

    Latest News