හෙට (20) සිට 27 දක්වා නිවසේ සිට වැඩකරන සතියක්

මාර් 19, 2020

    රට තුළ “කොරෝනා වෛරස“ ව්‍යාප්තිය වැළැක්වීමට රජය සියළු පියවර ගෙන තිබේ.

    ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, කොරෝනා වසංගත තත්වයක් දක්වා වර්ධනයවීම වළක්වා ගැනීමට ක්‍රියාකාරීම සියළුම රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන මෙන්ම ජනතාවගේ ද ප්‍රමුඛ වගකීමක් බවයි.

    හෙට සිට ලබන 27 දක්වා කාලසීමාව නිවසේ සිට වැඩකරන සතියක් ලෙස නම් කිරීමට ද රජය විසින් පියවර ගෙන තිබේ. මෙම කාලසීමාව රජයේ නිවාඩු දින ලෙස නොසැලකෙන අතර, මාර්තු 21 සහ 22 දිනයන් පමණක් සාමාන්‍ය රජයේ නිවාඩු ලෙස සැලකෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන්.

    මහජන සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම රජයේ වගකීමයි. ඒ වෙනුවෙන් මේ මොහොතේ ජනතාව එක් රැස්වීම වැළැක්වීම සඳහා ගනු ලබන පියවරක් ලෙස රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන හෙට සිට 27 දක්වා කාලසීමාවේ ගෘහස්ථ ක්‍රමවේදයක් අනුගමනය කරමින් සිය කාර්යාලීය රාජකාරි ඉටු කරනු ඇතැයි, අපේක්‍ෂා කෙරේ.

    ඉදිරියේ දී තෝරාගත් යම් රාජ්‍ය සේවාවන් දුරස්ථ ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක කිරීමට මෙම අත්දැකීම් පාදක කර ගැනීම මෙහි තවත් අපේක්‍ෂාවක්. ජන ජිවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය සෞඛ්‍ය, පළාත් පාලන, ප්‍රවාහන, බැංකු, ආහාර, ජලය, විදුලිය ආදී සැපයුම් සේවා මෙන්ම පොහොර බෙදාහැරීම, වී මිලදී ගැනීම ආදිය ද ඇතුළත්ව අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යාමට බලධාරීන් පියවර ගත යුතුය.

    දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කටයුතු ද අඛණ්ඩව පවත්වාගත යුතුය. දුරස්ථ ක්‍රම ක්‍රියාත්මක කිරීමේදී ආයතන ප්‍රධානීන් තම කාර්ය මණ්ඩලය කාර්යාලය වෙත කැඳවා ගැනීම හැකිතාක් දුරට සීමා කළ යුතුවේ. ඒ සඳහා විද්්‍යුත් තැපෑල, කෙටි පණිවිඩ, දුරකතන ආදී තාක්‍ෂණික ක්‍රම මෙන්ම ලිපිගොනු ගෙන්වා ගැනීම වැනි විකල්ප ක්‍රියාමාර්ග භාවිත කළ හැකි බවයි.

    ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙයි. ජනතාව කාර්යාල වෙත රැස්වීම වැළැක්වීමටත්, මහජන සේවා නිසි පරිදි අඛණ්ඩව පවත්වාගෙන යමින් ගැටළු විසඳීමටත් මහජන සේවා නිසි පරිදි අඛණ්ඩව පවත්වා ගෙන යමින් ගැටලු විසඳීමටත් තාක්‍ෂණ ක්‍රම භාවිත කළ යුතුය. මේ සඳහා පෞද්ගලික දුරකතන භාවිත කිරීමේදී අමතර වැයක් දැරීමට සිදුවන්නේ නම්, රජය ඊට අවශ්‍ය සහන සපයනු ඇත.

    මෙවැනි අවස්ථාවක රජයේ සියළුම නිලධාරීන් මහජන සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා නිසි ක්‍රමෝපාය අනුගමනය කරනු ඇතැයි රජය අපේක්‍ෂා කරයි. කොරෝනා වෛරසය වසංගතයක් ලෙස ව්‍යාප්තවීම වැළැක්වීම මෙම සියලු ක්‍රියාමාර්ගවල ප්‍රමුඛතම අරමුණයි. විවිධ ආයන මගින් සපයනු ලබන සේවා එකිනෙකට වෙනස් බැවින් සිය කාර්ය මණ්ඩල දැනුවත් කර එම පිරිස් සීමාකිරීම සඳහා තම ආයතනවල ලිඛිත ක්‍රමවේදයක් සකසා ගැනීම ද ආයතන ප්‍රධානීන්ගේ වගකීමක්.

    පෞද්ගලික අංශය ද අදාළ ක්‍රමවේදයන් අනුව සිය ව්‍යාපාර කළ යුතු බවට වාණිජ මණ්ඩල වෙත උපදෙස් දී තිබේ.

    Latest News