කොරෝනා ආසාදිත මෙරට රෝගීන්ගේ සංඛ්‍යාව 59 දක්වා ඉහළට 

මාර් 19, 2020

    කොරෝනා වෛරසය ආසාදිත මෙරට රෝගීන්ගේ සංඛ්‍යාව 59 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ අද ආසාදිතයින් 4 දෙනෙකුට කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට තහවුරු කර ගැනීමත් සමඟයි. වෛරසය ආසාදිත බවට සැකපිට 200කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්‍ෂණ ක්‍රියාත්මකයි.

    රෝගය වැළදී ඇති බවට අද තහවුරු කරගත් රෝගීන් අතර, පසුගියදා රෝගය වැළඳුනු බවට තහවුරු කරගත් මැණික් ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ දියණිය ද ඇතුලත්. තවත් දෙදෙනෙකු ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයයි. 23 හැවිරිදි තරුණයෙකු හා කුඩා දරුවෙකු ද අද තහවුරු කරගත් රෝගීන් අතර වේ. උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 64 වියැති පුද්ගලයෙකු ද රෝගීන් අතර සිටින බව වාර්තාවේ.

    පුත්තලම, හලාවත සහ මීගමුව පොලිස් බල ප්‍රදේශ සඳහා පොලිස් ඇඳිරිනීතිය අද පස්වරු 2.00 සිට නැවත දැනුම් දෙන තෙක් ක්‍රියාත්මක බව, පොලිස් මූලස්ථානය පවසයි. ඊයේ සවස පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද උදේ 8.00ට තාවකාලිකව ඉවත් කෙරිණ. ඇඳිරි නීතිය කාලසීමාවේ සියලු දෙනා සිය නිවෙස්වල රැඳී සිටිය යුතු අතර, එය ඉවත්කර ඇති කාලසීමාව තුළ ද ගමන් බිමන් උපරිම වශයෙන් සීමා කිරීමට ක්‍රියා කළ යුතු බව පොලිසිය ජනතාවට දැනුම් දෙයි. පොදු මගී සේවා සහ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ එම බල ප්‍රදේශ හරහා ගමන් කිරීමට අවසර හිමිවේ. කටුනායක ගුවන් තොටුපල වෙත ගමන් ගන්නා ගුවන් මගීන්ට ගුවන් ටිකට්පත ඇඳිරි නීති බලපත්‍රයක් වශයෙන් භාවිත කළ හැකිය.

    ශ්‍රී ලංකාවේ සිට පැමිණ සිටින සංචාරකයන්ගේ වීසා බලපත්‍ර කාලසීමාව දීර්ඝ කරන ලෙස රජය විදේශ රාජ්‍යයන්ගෙන් ඉල්ලීම් කරයි. කොරෝනා වෛරසය හේතුවෙන් රජය පනවා ඇති සංචාරක තහනම නිසා නැවත ශ්‍රී ලංකාවට පැමිණිම පිළිබඳව බොහෝ දෙනා අපහසුතාවකට පත්ව තිබේ. වීසා බලපත්‍ර දීර්ඝ කිරීමේ පහසුකම් ඔවුන්ට ලබාදෙන ලෙස විදේශ සබඳතා අමාත්‍යාංශය එම රාජ්‍යයන්ගෙන් ඉල්ලා ඇත්තේ අදාළ කරුණ කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින්.

    කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව රාජතාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කිරීමේ සැසි මාලාවේ එක් සැසියක් බටහිර කලාපීය තානාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ පැවැත්විණ. ශ්‍රී ලංකාවේ සිටින විදේශිකයන් පිළිබඳ වත්මන් තත්වය සහ විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණ.

    විදේශිකයන් අපහසුවකින් තොරව අදාළ රාජ්‍යයන් වෙත පිටත්කර හැරීම පිළිබඳව ද සාකච්ජා කෙරිණ. මෙරට සිටින විදේශිකයන් සඳහා වර්තමාන වීසා බලපත්‍ර කල් ඉකුත් වූ දින සිට මසකින් දීර්ඝ කිරීමට රජය ගන්නා උත්සාහය පිළිබඳව ද තානාපතිවරුන් මෙහිදී පැසසුමට ලක් කළේය. තම රටවල සංචාරය කරන ශ්‍රී ලාංකිකයන් සඳහා ඒ හා සමාන පහසුකම් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීම තම රජයන් වෙත දැනුම් දෙන බවට ඔවුන් මෙහිදී සහතික විය.

    කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්ත වීම අවම කිරීමේ අරමුණින් ඊයේ රාත්‍රී සිට මෙරටට ගුවන් මගීන් පැමිණිම තහනම් කෙරිණ. එහෙත්, ලන්ඩන් බලා පියාසර කර තිබූ ගුවන් යානයක් මෙරටට පැමිණිමට නියමිතව තිබිණ. ඒ සඳහා අවසර ලබාදී තිබූ අතර, එහි පැමිණි මගීන් සංඛ්‍යාව 145ක්. ඔවුන් නිරෝධායනය සඳහා අද මධ්‍යස්ථාන වෙත යොමු කෙරිණ.

    ශ්‍රී ලාංකීය ඉන්දීය වන්දනාකරුවන් මෙරටට ගෙන්වා ගැනීමට රජය විධිමත් පියවර ගෙන තිබේ. ගුවන් මගීන් මෙරටට පැමිණිම තහනම් කර තිබුණ ද ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ට මෙරටට පැමිණිම සඳහා අවසර ලැබී තිබේ. ඉන්දියාවේ දිල්ලි හා චෙන්නායි සිට ද පිරිසක් ඊයේ දිවයිනට පැමිණියේය.

    කොරෝනා වෛරසය ශීඝ්‍රයෙන් පැතිර යන රටවල සිට පැමිණි පුද්ගලයන් මධ්‍යස්ථාන 16ක නිරෝධායනයට යොමුකර තිබේ. එම පිරිස 2288ක්. නිරෝධායන මධ්‍යස්ථාවනවල සිටියදී කොවිඩ් නයින්ටීන් රෝගය වැළඳුනු පුද්ගලයන් සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් තිබේ.

    කොරෝනා වෛරසය පැතිර යන රටවල සිට පැමිණෙන්නන් නිවෙස් තුළම නිරෝදායන කිරීම සිදු කෙරේ. එම ක්‍රියාවලිය යටතේ ප්‍රථමයෙන්ම නිවෙස් තුළ නිරෝධායනයට ලක් කෙරුණ. ඉතාලියේ සිට පැමිණි කාන්තාවක් ඊයේ එම නිරෝධායන කාලසීමාව අවසන් කළාය. විධිමත් සායනික වෛද්‍ය පරීක්‍ෂණවලින් අනතුරුව, ඇය සමාජයට මුදා හැරිණ.

    අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දහවල් රත්නපුර ශික්‍ෂණ රෝහලට පැමිණියාය. රොහල් වෛද්‍ය අධිකාරිවරයා, වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය හමුවී රටේ උද්ගතව ඇති තත්වයට මුහුණ දීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ජා කෙරිණ.

    කොරෝනා වෛරස් ව්‍යාප්තියේ ආරම්භයේ සිට මේ දක්වා එහි නිවාරණය සඳහා ආයතනයක් වශයෙන් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි.

    Latest News