රවීගේ රීට් පෙත්සම සළකා බැලීම හෙට (වීඩියෝ)

මාර් 10, 2020
  • හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාව අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු බලරහිත කරන ලෙස ඉල්ලා ඔහු විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම සළකා බැලීම සඳහා හෙට දින කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

    මෙම පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී රවි කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණයේ කරුණු දක්වමින් තම සේවාදායකයා අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් වරෙන්තු නිකුත් කළ ආකාරය මුළුමනින්ම නීතියට පටහැනි, අයුක්තිසහගත මෙන්ම අත්තනෝමතික බව සඳහන් කර සිටියේය.

    අදාල වරෙන්තුව නිකුත් කිරීමට පෙර මහේස්ත්‍රාත්වරයා විසින් තම සේවාදායකයාගේ පාර්ශවයෙන් කිසිදු කරුණු විමසීමක් සිදු නොකළ බවද ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා චෝදනා කළේය. එමෙන්ම ඉතාම පක්ෂග්‍රාහී ආකාරයෙන් සිදුකරන ලද පරීක්ෂණයක තොරතුරු මත පදනම්ව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම වරෙන්තුව නිකුත් කර තිබෙන බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.

    මෙම වරෙන්තුව නිකුත් කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතාගේ බිරිඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති අංශයේ සේවය කරන බැවින් ඔහුට මෙම නඩුව ඇසීම සඳහා කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවද ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා පෙන්වා දුන්නේය.

    එබැවින් තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කර තිබෙන වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ තාවකාලික නියෝගයක් නිකුත් කරන ලෙසයි ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

    මෙහිදී තවත් පෙත්සම්කරුවකු වන perpetual treasuries සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම වරෙන්තුව නිකුත් කර තිබෙන ආකාරය ඉතාම පක්ෂග්‍රාහී බව සඳහන් කළේය.

    මහබැංකු බැඳුම්කර නිකුතුවට අදාළ තවත් නඩුවක් 2018 වසරේදී කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී ඔහුගේ නිළ මැදිරිය තුලට ගොස් ඉල්ලීමක් ඉදිරිපත් කළ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් මහේස්ත්‍රාත් දිසානායක මහතාගේ බිරිඳ මහ බැංකුවේ සේවය කරන බැවින් මෙම නඩු කටයුත්තට සහභාගීවීමෙන් වළකින ලෙස ඉල්ලීමක් කර තිබූ බව සඳහන් කළ ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා එම ඉල්ලීම පරිදි රංග දිසානායක මහේස්ත්‍රාත්වරයා එම නඩුව විමසීමෙන් ඉවත්වී එය වෙනත් මහේස්ත්‍රාත්වරයෙකු වෙත යොමු කළ බවද පැවසීය.

    එම වාතාවරනය හමුවේ ඒ හා සමාන අන්තර්ගතයක් පවතින මෙම නඩුව විභාග කිරීමට මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ගත් තීරණය සදාචාරාත්මක මෙන්ම නීතියට ද පටහැනි ක්‍රියාවක් බව මෙහිදී ජනාධිපති නීතිඥ මාරපන මහතා පෙන්වා දුන්නේය.

    මෙහි දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩු කටයුතු වලට අදාලව නොතීසි කිසිවක් තමන් වෙත මෙතෙක් ලැබී නොමැති බව සඳහන් කර සිටියේය.

    වගඋත්තරකරුවන්ගෙන් කරුණු විමසීමකින් තොරව පෙත්සම්කරුවන් ඉල්ලා සිටින අතුරු නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවයි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය. ඒ අනුව මෙම නඩු කටයුතු වලට අදාළ නොතීසි අද දින නීතිපති දෙපාර්තමේන්තු වෙත ලබාදීමට පියවර ගන්නා ලෙස එහිදී විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට නියෝග කරන ලදී.

    ඉන් අනතුරුව පෙත්සම හෙට දින සලකා බලන බවද විනිසුරුමඩුල්ල නියම කළේය.

    පෙත්සම්කාර රවී කරුණානායක මහතා කියා සිටින්නේ 2016 වසරේ සිදුවූ බැඳුම්කර වෙන්දේසි දෙකක් තුළින් රජයට රුපියල් බිලියන 50 කට වැඩි පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තමන් භාරගන්නා ලෙස දන්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසිනි 6 වැනිදා වරෙන්තු නිකුත් කළ බවයි.

    මෙම වරෙන්තු නිකුත් කිරීම මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකර තිබෙන්නේ ස්වභාවික යුක්තිය නැමති නීතිමය මූලධර්මයට පටහැනි ව බවයි කරුණානායක මහතා පෙන්වා දෙන්නේ.

    එබැවින් මෙම නඩු කෘතියට අදාළව පොලීසිය විසින් ගොනුකර තිබෙන බී වාර්තාව සහ ඒ මත පදනම්ව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ වරෙන්තුව බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද රවි කරුණානායක මහතා ඇතුළු පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

    ඊට අමතරව තමන්ව අත්අඩංගුට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගන්නයි නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත නිකුත් කර තිබෙන උපදෙස ද බලරහිත කරන ලෙසයි ඔවුන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙන්නේ.

    ඊට අමතරව මෙම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් ඉවත් කර වෙනත් මහේස්ත්‍රාත්වරයකු වෙත යොමු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ද අදාළ පෙත්සම් වලින් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

    අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, රහස් පොලිසියේ මූල්‍ය වංචා අංශයේ ස්ථානාධිපතිවරයා, එම අංශය භාර පොලිස් අධිකාරි පී. අම්පාවිල, වැඩබලන පොලිස්පති වරයා, කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් යන අය නම් කර තිබේ.

    කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර ඇති නියෝගයට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කළ පිරිස වන්නේ හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, සංගරපිල්ලෙයි පද්මනාදන් සහ ඉන්දික සමන් කුමාර යන ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් දෙදෙනා ද ඇතුළත් වෙයි.

    Last modified on අඟහරුවාදා, 10 මාර්තු 2020 20:10

    Latest News