රවීගෙන් අභියාචනාධිකරණයට රීට් පෙත්සමක්

මාර් 10, 2020

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාව අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ  වරෙන්තු බලරහිත කරන ලෙස ඉල්ලා ඔහු විසින්  රිට් පෙත්සමක් අද අභියාචනාධිකරණයට ඉදිරිපත්කර තිබේ.

    2016 වසරේ මාර්තු මස පැවති බැදුම්කර වෙන්දේසි දෙකක දී රජයට රුපියල් බිලියන 50කට වැඩි පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එහි සභාපති ජෙෆ්රි ඇලෝසියස්ම, එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන සහ එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස ඉකුත් දා කොළඹ කොටුව අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබිණ.

    රවි කරුණානායක මහතා සිය පෙත්සමෙන් සඳහන් කර සිටින්නේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම වරෙන්තුව නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවයි.

    එබැවින් මෙම නඩු කෘතියට අදාළව පොලීසිය විසින් ගොනුකර තිබෙන බී වාර්තාව සහ ඒ මත පදනම්ව මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ වරෙන්තුව බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද රවි කරුණානායක මහතා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

    ඊට අමතරව තමන්ව අත්අඩංගුට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගන්නයි නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත නිකුත් කර තිබෙන උපදෙස ද බලරහිත කරන ලෙසයි ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙන්නේ.

    මෙම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයාගෙන් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද අදාළ පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ. අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා, වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

    Last modified on අඟහරුවාදා, 10 මාර්තු 2020 12:37

    Latest News