වසන්ත කරන්නාගොඩට 4වැනි වරටත් සිතාසි

පෙබ 24, 2020

    අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද දිනයේ අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට 4 වැනි වතාවටත් සිතාසි නිකුත් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කළේය.

    චම්පා ජානකී රාජරත්න, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම සිතාසි නිකුත් කිරීම අද සිදුකෙරිණ. ඒ අනුව විත්තිකාර වසන්ත කරන්නාගොඩ මහතාට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා මාර්ගයෙන් සිතාසියක් යොමුකරන ලෙස මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කරනු ලැබීය.

    එමෙන්ම අදාල සිතාසියේ පිටපතක් ලියාපදිංචි තැපෑලෙන් විත්තිකරු වෙත යොමු කරන ලෙසත් නියම කළේය.

    එමෙන්ම අදාළ සිතාසියේ පිටපතක් කරන්නාගොඩ මහතාගේ නිවසේ සිටින සේවකයෙකුට හෝ ඥාතියකුට භාර දෙන ලෙසත් එහි පිටපතක් ඔහුගේ නිවසේ ප්‍රසිද්ධ ස්ථානයක අලවන ලෙසත් විනිසුරුවරු නියම කළේය. විත්තිකාර කරන්නාගොඩ මෙරට ආරක්ෂක අංශ වල සිටි උසස්ම නිලධාරියෙකු බව පෙන්වා දුන් අධිකරණය ඔහුට සිතාසි බාර දීමට නොහැකිවීම සුළුවෙන් තැකිය නොහැකි බව සඳහන් කර සිටියේය.

    වැඩිදුර විමසීම මාර්තු මස 20 වැනිදාට කල් දැමිණ.2008 සහ 2009 වසරවල කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි කියන සිද්ධියට අදාළව පවරා ඇති නඩුවේ දාහතර වන විත්තිකරු ලෙස අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා නම් කර සිටියි.

    Last modified on සදුදා, 24 පෙබරවාරි 2020 11:06

    Latest News