විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න රිමාන්ඩ් භාරයට

ජන 24, 2020

    විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා පෙබරවාරි 07 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කරයි.

    අධිකරණයට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිකුත් කරන ලද නොතීසියක් අනුව අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥවරයෙකු වන මේජර් අජිත් ප්‍රසන්න මහතා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

    කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා විසින් අදාළ නියමය සිදු කර තිබේ.

    මෙම පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් චෝදනා කර සිටියේ නීතිඥවරයෙකු බව කියා ගන්නා අජිත් ප්‍රසන්න නමැත්තා ඉකුත් 12 වන දා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාව තුළින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා දැඩි ලෙස විවේචන කරමින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවයි.

    අධිකරණ පද්ධතියේ යම් දෝෂයක් තිබේ නම් ඒ පිළිබඳව නිසි නීතිමය පටිපාටිය අනුගමනය කරමින් අදාළ අංශ වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බව පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා එසේ නොකොට මේ ආකාරයෙන් මාධ්‍ය ඔස්සේ පදනම් විරහිත චෝදනා විනිසුරුවරුන්ට එල්ල කිරීම තුළින් අධිකරණ පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය කඩාවැටෙන බව සඳහන් කර තිබේ.

    අජිත් ප්‍රසන්න නැමැති මෙම පුද්ගලයාට මෙම වරද දිගින් දිගටම සිදු කිරීමට ඉඩ දීමට හැකියාවක් නොමැති බවයි මෙහිදී රජයේ නීතිඥවරයා පෙන්වා දුන්නේ.

    මහාධිකරණ විනිසුරුවරයෙකුට අපහාස කිරීම පිළිබඳව අධිකරණ සංවිධාන පනතේ 18 වන වගන්තිය යටතේ මෙම පැමිණිල්ල ඉදිරිපත් කෙරෙන බවත් ඉන් වැරදිකරු වන පුද්ගලයෙකුට වසර 5ක් දක්වා බරපතල හෝ ලිහිල් සිරදඬුවම් නියම කිරීමට මහාධිකරණයට බලය පවතින බවද ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරයා පෙන්වා දී තිබේ.

    ඊට ප්‍රතිචාර දක්වමින් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ අජිත් ප්‍රසන්න මහතා සඳහන් කර සිටියේ තමා ගිහාන් කුලතුංග මහාධිකරණ විනිසුරුවරයාට එරෙහිව අධිකරණ සේවා කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් එය විභාග වෙමින් පවතින බවත් ප්‍රකාශ කර තිබේ.

    ඊට අමතරව කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද තමා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව නීතිඥ අජිත් ප්‍රසන්න ප්‍රකාශ කර ඇත.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා ඇප පනතේ විධි විධානයන්ට අනුව මෙම අවස්ථාවේදී මෙම පුද්ගලයාට ඇප මත මුදාහරිනු ලැබුවොත් එතුළින් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවිය හැකි බව පෙන්වා දී ඇත.

    එමෙන්ම නඩු විභාගයක් සිදු කරමින් සිටින විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ කටයුතු විවේචනය කිරීම තුළින් ඔහු පවතින නඩු කටයුත්තකට ද බලපෑමක් සිදු කර ඇති බව පෙන්වා දුන් විනිසුරු ධම්මික ගනේපොල මහතා ඒ අනුව පනතේ විධිවිධානයන්ට අනුව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන බවට නියම කර තිබේ.

    එමෙන්ම මෙම පුද්ගලයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙසද මහාධිකරණ විනිසුරුවරයා විසින් රහස් පොලිසියට නියෝග කර ඇත.

    අනතුරුව නඩු විභාගය ලබන 7 වනදාට කල් තැබීමට නියම කර තිබේ.

    Latest News