වරෙන්තු නිකුත් කර තිබූ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර අධිකරණයට ඉදිරිපත් වෙයි

පෙබ 18, 2020

    අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අද සිය නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වී තිබේ.

    පසුව ඔහු වෙනුවෙන් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත. එමෙන්ම සැකකාර ජයන්ත සමරවීර මහතා රුපියල් 7,500 ක අමතර ඇපයක් මත මුදා හරින ලෙස ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් නියෝග කර තිබේ.

    සැකකාර ජයන්ත සමරවීර මහතා අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ ඔහුගේ නීතිඥවරයා සඳහන් කර සිටියේ ඊයේ දින පැවති අධික මාර්ග තදබදය හේතුවෙන් තම සේවාදායකයාට නිසි වේලාවට අධිකරණය හමුවට පැමිණීමට නොහැකි වූ බවයි. ඒ සම්බන්ධයෙන් ඔහු අධිකරණයට සිය කනගාටුව පළ කරන බව ද නීතිඥවරයා ප්‍රකාශ කර ඇත.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකාර අමාත්‍යවරයා වෙනුවෙන් නිකුත් කර තිබූ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග කළ අතර මීළඟ නඩු දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙසද නියෝග කර තිබේ.

    2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම හරහා මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා කරමින් ගොනුකර තිබෙන නඩුව ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි සැකකරුවකු වන ජයන්ත සමරවීර මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා අධිකරණය විසින් නිකුත් කර තිබිණි.

    Latest News