එක්සත් ජනපද කොන්ග්‍රස් සභිකයින් අගමැති මහින්ද හමුවෙයි (වීඩියෝ)

පෙබ 15, 2020
  • අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජනපද කොන්ග්‍රස් සභික අමි බෙරා(Ami Bera) මහතා සහ ජෝර්ජ් හෝල්ඩින් (George Holding) මහතා අතර හමුවක් අද (15) පෙරවරුවේ පැවැත්විණි.

    එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව අතර ශක්තිමත් සබඳතාවයක් ගොඩනගා ගැනීමට බලාපොරොත්තු වන බව එහිදී කොන්ග්‍රස් සභික අමි බෙරා අග්‍රාමාත්‍යවරයා සමඟ සඳහන් කළේය.

    ami.jpg

    එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කැලිෆෝනියාවේ 7 වන කොන්ග්‍රස් දිස්ත්‍රික්කය නියෝජනය කරන අමී බෙරා, විදේශ කටයුතු කමිටුවේ සාමාජිකයෙකු ද වෙයි. එසේම ඔහු ආසියාව, පැසිෆික් හා න්‍යෂ්ඨික අවිව්‍යාප්තිය වැලැක්වීම (න්‍යෂ්ථික අවිහරණය) පිළිබඳ අනුකමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරයි.

    සිය රජය රටේ ආර්ථික සංවර්ධනයට ප්‍රමුඛතාවයක් දී තිබෙන හෙයින් එක්සත් ජනපද ආයෝජන රටේ ආර්ථීක සංවර්ධනය සඳහා සපයන දායකත්වය අගය කරන බව මෙහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනපද කොන්ග්‍රස් සභිකයින් සමඟ සඳහන් කළේය.

    ආර්ථික සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා මෙම හමුවීම ඉතා හොඳ අවස්ථාවක් ලෙස සලකන බව සඳහන් කළ කොන්ග්‍රස් සභික ජෝර්ජ් හෝල්ඩින්, සිය ප්‍රාන්තය වන උතුරු කැරොලිනාවේ 2 වන කොන්ග්‍රස් දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකාවේ සෘජු විදේශීය ආයෝජන මගින් ක්‍රියාත්මක වන ව්‍යාපාර මේ වන විටත් ක්‍රියාත්මක වන බව පෙන්වා දුන්නේය. කොන්ග්‍රස් සභික හෝල්ඩින් නිවාස කමිටුව, අයවැය කමිටුව සහ ආචාර ධර්ම කමිටුවේ සාමාජිකයෙකි.

    ශක්තිමත් ආර්ථික සබඳතා මගින් දෙරටේ සබඳතා වැඩි දියුණු කරගැනීමේ හැකියාව ඇති බැවින් වැඩි ආයෝජන අවස්ථා හිමිකර ගැනීම සඳහා ඉදිරියේදී වැඩි අවධානයක් යොමුකිරීමේ අවශ්‍යතාවය සම්බන්ධයෙන්ද දෙරටේ නියෝජිත පිරිස් අතර අදහස් හුවමාරු විය.

    දෙරටේ දැනට පවතින සහයෝගීතාවන්ට අමතරව ත්‍රස්තවාදය පිටුදැකීම, සංචාරක කර්මාන්තය හා බලශක්ති යන ක්ෂේත්‍රවල සහයෝගීතාවය පිළිබඳවත් දෙපාර්ශවය මෙම සාකච්ඡාවේදි අවධානය යොමුකළේය.

    ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ඇලයිනා ටෙප්ලිට්ස් ද මේ අවස්ථාවට එක්වූ අතර ආසියානු කළාපය තුළ ශ්‍රී ලංකාවට හිමිව ඇති විශේෂත්වය සම්බන්ධයෙන් තානාපතිවරිය මෙහිදී අදහස් දැක්වීය.

    usam.jpg

    ශක්තිමත්, ස්වෛරී ශ්‍රී ලංකාවක් බිහිකිරීම සඳහා සිය සහාය ලබා දෙන බව ද මෙහිදී තානාපතිවරිය සඳහන් කලේය.

    මෙම අවස්ථාවට හිටපු විදේශ අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා සහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාද එක් වූහ.

    Last modified on සෙනසුරාදා, 15 පෙබරවාරි 2020 20:43

    Latest News