රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවිය හැකිද?

දෙසැ 10, 2018

    දේශපාලන අවශ්‍යතා මත රාජ්‍ය නිලධාරීන් පාර්ලිමේන්තුවට ගෙන්වා ප්‍රශ්න කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා කියා සිටී.

    ඔහු පෙන්වා දෙන්නේ, රාජ්‍ය නිලධාරීන් වරදක් කර ඇත්නම්, විගණන විමසුමක් කර විගණකාධිපතිවරයාගේ වාර්තාව අනුව, ක්‍රියා කිරීම මූලික ක්‍රමවේදය බවයි. අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඇතුළු ලේකම්වරු පස් දෙනෙකු පාර්ලිමේන්තුවට ගෙන්වා ප්‍රශ්න කරන බවට, එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඉකුත්දා ප්‍රකාශ කළේය.

    මෙම යෝජනාව දින නියමයක් නොමැති යෝජනවක් ලෙස කථානායකවරයා හා පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත දැනටමත් යොමු කර තිබේ. එය න්‍යාය පුස්තකයට ඇතුලත් කර දින 5ට පසු පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම සම්ප්‍රදාය බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා රූපවාහිනියට පැවසීය. එය නීත්‍යානුකූල පාර්ලිමේන්තුවක් තුළ සම්මත වූ පසු අදාළ කාරක සභාව වෙත යොමු කළ යුතුය.

    පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පසුගියදා පක්‍ෂ-විපක්‍ෂ නාමයෝජනා බාරදී තිබුණ ද ආණ්ඩු පක්‍ෂය ඊට විරෝධය පළ කළේය. කථානායකවරයා ආණ්ඩු පක්‍ෂයට හිමි සාමාජිකයින් සංඛ්‍යාවට එකඟතාව නොදැක්වීම ඊට හේතුවයි. ඒ අනුව, ආණ්ඩු පක්‍ෂය එම තේරීම් කාරක සභාව පිළිගෙන නොමැත. අදාළ රාජ්‍ය නිලධාරීන් පිළිබඳව ක්‍රියා කළ හැක්කේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත්කරන අනෙකුත් කාරක සභා මගිනි.

    එම කාරක සභා පත් නොකර රාජ්‍ය නිලධාරීන් බිය ගැන්වීම මෙම යෝජනාවල අරමුණු බව, පා.ම. අනුර ප්‍රියදර්ශන යාපා මහතා පෙන්වා දෙයි.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

     

    Latest News