“කොරෝනා“ - චීනයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ගැන දැඩි විමසිල්ලෙන්; ශ්‍රී ලංකා තානාපති කාර්යාලය

ජන 25, 2020

    චීනයේ පැතිර යන කොරෝනා වෛරස් රෝග තත්වය හා එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව පිලිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන බව බෙයිජිං නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

    කොරෝනා වෛරස් රෝග තත්වය ආරම්භ වූ චූහාන් නගරය හා එම නගරය අයත් හුබෙයි ප්‍රාන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමඟ සම්බන්ධතා පවත්වන බව තානාපති කාර්යාලය නිවේදනය කළේය. එමෙන්ම ශ්‍රී ලංකාවේ වෙසෙන ඥාතීන් ද තොරතුරු දැනගැනීමේ අපේක්‍ෂාවෙන් පසුවේ. ශ්‍රී ලාංකිකයන් සමඟ නිරන්තර සබඳතා පවත්වා ගැනීම සඳහා චීනයේ ජනප්‍රිය “වී චැට්“ සමාජ ජාල කණ්ඩායමක් මේ වනවිට නිර්මාණය කර ඇති බවත්, ඒ ඔස්සේ ඔවුන්ගේ තොරතුරු ලබාගන්නා බවත් නිවේදනයේ දැක්වේ. එමෙන්ම විදේශ සබඳතා අමාත්‍යාංශය චීනයේ අදාළ බලධාරීන් සමඟ ද සම්බන්ධතා පවත්වමින් ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්‍ෂාව සහ පහසුකම් පිළිබඳව පියවර ගනිමින් සිටී.

    එමෙන්ම ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා නිලධාරී කණ්ඩායමක් ද නම් කර ඇති බව බෙයිජං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි. තානාපති කාර්යාලයේ වාණිජ අමාත්‍ය ඇලෙක්ස් ගුණසේකර, ආරක්‍ෂක අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් කල්ප සංජීව, දෙවැනි ලේකම් ඉනෝකා වීරසිංහ හා දෙවැනි ලේකම් තිළිණි ගුණරත්න යන මහත්ම-මහත්මීන් තොරතුරු ලබාදීමේ කණ්ඩායමට ඇතුළත්වේ.

    Latest News