චම්පිකගේ රියදුරු දෙවන දිනටත් රහස් ප්‍රකාශක් ලබා දීමට පැමිණේ

ජන 22, 2020

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ඉදිරියේ රහස් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු අද(22) දෙවන දිනයේත් පැමිණ තිබේ.

    2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී වූ රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ලේ දෙවන සැකකරු ලෙස ඔහුගේ රියදුරු දිලුම් තුසිත කුමාර නමැත්තා නම් කර ඇත.

    ඔහු රහස් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද දෙවන දිනයේත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් කාංචනා නිරංජලා ද සිල්වා මහත්මියගේ නිල මැදිරිය තුළ පෙනී සිටියේය.

    විනාඩි 10 කට ආසන්න කාලයක් මහේස්ත්‍රාත්වරියගේ නිල මැදිරිය තුළ රැඳී සිටි විත්තිකරු ඉන්පසුව පිටතට පැමිණි තිබේ.

    මේ පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ විට සැකකාර දිලුම් තුසිත කුමාර වෙනුවෙන් පෙනී සිටින නීතිඥ ගීත් ජයසිංහ මහතා සඳහන් කර සිටියේ මෙම ප්‍රකාශය සිදු කිරීමට සූදානම් වන්නේ ස්වේච්ඡාවෙන් ද? යන්න පිළිබඳව මහේස්ත්‍රාත්වරිය විසින් තම සේවා දායකයාගෙන් විමසා සටහනක් යොදාගත් බවයි.

    ඒ අනුව මෙම සැකකරුගේ ප්‍රකාශය ඉදිරි දිනයක සටහන් කර ගැනීමට නියමිත බව ද නීතිඥවරයා පවසා තිබේ.

    මේ අතර අදාළ රිය අනතුරු සිද්ධිය සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනුකර තිබෙන පැමිණිල්ල පෙබරවාරි මස 24 වනදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබේ.

    Latest News