කදිරගාමර් ඝාතනයට සම්බන්ධ ලාංකිකයෙකුට ජර්මනියේ දී සිරදඬුවම්

ජන 21, 2020

    හිටපු විදේශ අමාත්‍යවරයෙකු වූ ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයෙකුට ජර්මානු අධිකරණයක් මගින් මාස 82ක සිර දඬුවමක් නියම කර තිබේ.

    මෙම සැකකරු හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා සිටින ස්ථානය පිළිබඳව එල්.ටි.ටි.ඊ. සංවිධානයට තොරතුරු ලබාදී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

    ජර්මනියේ, ස්ටුඩ්ගාඩ්හි ප්‍රාදේශීය අධිකරණයක් විසින් අදාළ දඬුවම නියම කර ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනූව ජී.නවනීදන් නමැති එම පුද්ගලයාට ජර්මානු නීතියට අනුව වසර 06ක සහ මාස 10ක සිරදඬුවමක් ලබා දී තිබේ.

    2012 වර්ෂයේ ජර්මනීයේ සරණාගතභාවය සදහා ඉල්ලුම් කර ඇති මොහු එල්.ටි.ටි.ඊ. බුද්ධි අංශ සාමාජිකයෙකු බව ද අනාවරණය වී තිබේ. 2005 වර්ෂයේ අගෝස්තු 12 වන දින කොළඹ පිහිටි සිය නිවසේ දී එල්.ටි.ටි.ඊ. ස්නයිපර් තුවක්කුකරුවෙකු විසින් හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතා ඝාතනය කරනු ලැබුවේය.

    Last modified on අඟහරුවාදා, 21 ජනවාරි 2020 07:26

    Latest News