පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද රැස්වෙයි

ජන 21, 2020

    පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව අද දිනයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඒ අනූව අද පස්වරු 1.00ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වෙයි. අනතුරුව තේරීම් කාරක සභාවේ පළමු රැස්වීම පස්වරු 3.00ට පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

    08 වන පාර්ලිමේන්තුවේ හතර වන සභාවාරය සඳහා පත් කෙරෙන තේරීම් කාරක සභාවේ සාමාජිකයින් මේ වන විට නම් කර තිබේ. කරු ජයසූරිය මහතාගේ සසහභාගීත්වයෙන් යුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා මන්ත්‍රීවරුන් 17ක් ඊට ඇතුළත්.

    ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් තේරීම් කාරක සභාව සදහා චමල් රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩග්ලස් දේවානන්ද, මහින්ද සමරසිංහ, ගාමිණි ලොකුගේ, මහින්ද යාපා අබේවර්ධන, රෝහිත අබේගුණවර්ධන යන අය නම් කර තිබේ.

    ලක්ෂ්මන් කිරිඇල්ල, ජෝන් අමරතුංග, විජිත හේරත්, රිෂාඩ් බදියුදීන්, පාඨලි චම්පික රණවක, මනෝ ගනේෂන්, නිරෝෂන් පෙරේරා, මාවෙයි සේනාධිරාජා, විපක්ෂය නියෝජනය කරමින් තේරීම් කාරක සභාවට නම් කර ඇති බව පාර්ලිමේන්තුව සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව, රාජ්‍ය ගිණුම් කාරක සභාව ඇතුළු කාරක සභා සඳහා මන්ත්‍රීවරුන් නම් කිරීම තේරීම් කාරක සභාව විසින් සිදුකරනු ලබයි.

    මේ අතර, උඩරට විවාහ සහ දික්කසාද පනත ඉවත් කිරීම සඳහා වු පනත් කෙටුම්පතක් අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමි පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

    එමෙන්ම, පාර්ලිමේන්තුවේ ආණුඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායක කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් 2020 ජනවාරි 23 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස්වීමට නියමිතයි.

    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පොලිස් කොමිසම, අල්ලස් කොමිෂන් සභාව සහ මැතිවරණ කොමිෂන් සභාව වැනි ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීමේ වගකීම පැවරී ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව වෙතයි.

    කථානායකවරයා මෙම සභාවේ සභාපති ධුරය දරන අතර, එහි සාමාජිකත්වය දරණ සාමාජිකයන් දස දෙනා අතර අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා ප්‍රධාන වෙයි.

    Latest News