අඩු ආදායම්ලාභීන්ට ජනපතිගෙන් සහන මල්ලක්..ගණුදෙනුවට විද්‍යුත් කාඩ්පතක්

ජන 15, 2020

    අඩු ආදායම්ලාභී ජනතාවට අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර සැපයීමේ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට ජනාධිපතිතුමා තීරණය කර තිබේ.

    වැඩසටහන යටතේ සෑම හිමිකම්ලාභියෙකුටම ආහාර මිලදී ගැනීමට විශේෂ ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් නිකුත් කරනු ලැබේ. සමෘද්ධිලාභීන්, සමෘද්ධි හිමිකම් නොලබන පුද්ගලයන්, ස්ථීර රැකියාවක් නොමැති හා වැවිලි ක්ෂේත්‍රයේ කම්කරුවන්, රැකියා නොමැති පවුල්වල ආබාධිතයන්, වැන්දඹු පවුල්, ස්ථාවර ආදායමක් නොමැති වැඩිහිටියන් සහ බරපතළ රෝගාබාධයන්ගෙන් පෙළෙන්නන් සිටින පවුල් මීට හිමිකම් කියයි. ඔවුන්ගේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කිරීම වැඩසටහනේ අරමුණයි.

    සීනි,තේ,හාල්,පිටි,පරිප්පු,කඩල,ළූණු ,මිරිස්,කරවල,අල සහ කිරිපිටි ඇතුළු අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සහන මිලකට ලබාදීම අපේක්ෂා කෙරේ. ලංකා සතොස, සමූපකාර වෙළෙඳ ජාලය සහ විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවලින් තෝරාගත් බලයලත් වෙළෙඳසැල් මගින් ආහාර පහසුවෙන් මිලදී ගැනීමට මූලික වශයෙන් අවස්ථාව සලසා ඇත.

    තෝරාගනු ලබන පහසුකම් අඩු ග්‍රාමීය වෙළෙදසැල් සඳහා සහන ක්‍රමයකට ශිතකරණ ඇතුළු උපකරණ ලබාගැනීමට ද පහසුකම් සැලසීමට නියමිතයි. අදාළ වෙළෙදසැල්, ජනාකීර්ණ ප්‍රදේශවලද, අඩු ආදායම්ලාභී නිවාස සංකිර්ණ, ග්‍රාමීය පළාත්වල සහ වැවිලි ක්ෂේත්‍රය ආවරණය වන පරිදි පිහිටුවීම කෙරෙහි අවධානය යොමුවී තිබේ.

    බලයලත් වෙළෙඳ සැල් තෝරා ගැනීමේ දී කාන්තා ව්‍යවසායකයන්ට ප්‍රමාඛතාවයක් ලබා දෙයි.මෙමගින් කුඩා පරිමාණ ව්‍යාපාරිකයින් සහ නිෂ්පාදකයන් නගා සිටුවීමට ද ජනාධිපතිතුමා අපේක්ෂා කරයි.

    දේශීය නිෂ්පාදකයන්ට මූලිකත්වය දෙමින් ඔවුන් නිපදවන ඇසුරුම් කළ ආහාර, කුළු බඩු, මස් මාලු, බිත්තර හා අනෙකුත් ගෘහ අවශ්‍යතා අදාළ ව්‍යාපාරිකයන් වෙත අතරමැදියන්ගේ තොරව ඝෘජුවම ලබාදිමට ඒ අනූව ව්‍යාපෘතියෙන් පහසුකම් සැළසේ.

    වැඩසටහනට සමගාමීව ග්‍රාමීය වතු සහ නාගරික ප්‍රදේශයන්හි ගෘහ ඒකක එක්ලක්ෂ පනස්දහසක් සඳහා පානීය ජලය ලබාදීමටත්, ග්‍රාමීය මාර්ග කි.මි ලක්ෂයක් සංවර්ධනය කිරීමටත් අපේක්ෂා කෙරේ. 

    දිළිදු හා අඩු ආදායම්ලාභීන් ලෙස හදුනාගනු ලබන පුද්ගලයන්ට ඉඩම් අමාත්‍යාංශ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාව සහ බිම් සවිය සමග සම්බන්ධීකරණය කර කෘෂිකර්ම, ව්‍යාපාර සංවර්ධනය සහ නිවාස ව්‍යාපෘති වෙනුවෙන් තිස් අවුරුදු බදු පදනමෙන් ඉඩම් කැබලි ලක්ෂයක් ලබාදීම කෙරෙහි ද ජනාධිපතිතුමා තීරණය කර තිබේ.

    Last modified on බදාදා, 15 ජනවාරි 2020 17:11

    Latest News