රාජිත රාත්‍රියේම රෝහලෙන් පිටව යයි

ජන 14, 2020

    නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (13) මධ්‍ය රාත්‍රියේ එම රෝහලෙන් පිටව ගොස් තිබේ.

    සුදු වෑන් මාධ්‍ය සාකච්ජාවක් සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දෙසැම්බර් 24 වැනි දින නියෝගයක් ලබාදුන් අතර එම නියෝගයෙන් දින දෙකකට පමණ පසුව රාජිත සේනාරත්න මහතා රෝහල්ගත කෙරිණ.

    පසුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීම අත්අඩංගුවට පත් වූ රාජිත සේනාරත්න මහතාට දෙසැම්බර් මස 30 වන දින ඇප ලබාදීමට කොළඹ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    ඒ අනුව දවස් 19කට අධික කාලයක් රෝහල්ගතව සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ දිනයේ රෝහලෙන් පිටව ගොස් තිබේ. සුදු වෑන් මාධ්‍ය සාකච්ජාවක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නට ඇප ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා ගොනුකළ ප්‍රතිශෝධන අයැදුම්පත කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ මේ මස 17 වැනිදා ‍කැඳවීමට නියමිතයි.

    එම ප්‍රතිශෝධන අයදුම්පත සම්බන්ධව මෙම මස 17 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා හට විනිසුරුවරයා විසින් ඊයේ (13) නොතීසි නිකුත් කළේය.

    පැමිණිල්ල අධිකරණය හමුවේ ඉදිරිපත් කළ කරුණ නොසලකා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය, රාජිත සේනාරත්න මහතාට ඇප ලබාදෙමින් දුන් නියෝගය ප්‍රතිශෝධනය කර ඔහු නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නීතිපතිවරයා ගොනුකළ ප්‍රතිශෝධන අයැදුම්පතෙන් ඉල්ලා ඇත. එම ප්‍රතිශෝධන අයදුම්පත සලකා බැලූ විනිසුරුවරයා මේ මස 17 අධිකරණය හමුවේ කැඳවීමට තීරණය කළේය.

    Last modified on අඟහරුවාදා, 14 ජනවාරි 2020 07:44

    Latest News