'හතේ අපේ පොත' ගැන අවසන් තීරණය 21

ජන 10, 2020

    ආන්දෝලනයකට ලක්ව ඇති "හතේ අපේ පොත" නැමැති ග්‍රන්ථය පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා ලබන ජනවාරි 21 වැනිදා විශේෂ රැස්වීමක් කැඳවීමට පාර්ලිමේන්තුවේ අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කර තිබේ.

    එම රැස්වීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි කැඳවීමට පාර්ලිමේන්තුවේ අධ්‍යාපන සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය සඳහන් කළේය.

    පාර්ලිමේන්තුවේදී ඊයේ පැවති මෙම කමිටුවල ඒකාබද්ධ රැස්වීමට මහා සංඝරත්නය, විශේෂඥ වෛද්‍යවරුන්, විශ්ව විද්‍යාලවල මහාචාර්යවරුන්,ජාතික ළමාරක්ෂක අධිකාරියේ නිලධාරීන්,අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

    මෙහිදී අදහස් දැක්වු විද්වතුන් බොහෝ දෙනෙක් ළමා වියේදීම නවයොවුන් දරුවන්ට ලිංගික අධ්‍යාපනයක් ලබා දිය යුතු බව පෙන්වා දුන් අතර මේ සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයය සහ විශ්ව විද්‍යාල විසින් සිදු කළ සමීක්ෂණ රැසක තොරතුරු ද ඉදිරිපත් කරන ලදී.

    ඒ අනුව "හතේ අපේ පොත" නැමති ග්‍රන්ථය නැවත පාසල්වලට නිකුත් කළ යුතු ද යන්න සම්බන්ධ අවසන් තීරණය ලබන 21 වෙනිදා ගැනීමට නියමිතයි. මෙම ග්‍රන්ථය සම්බන්ධව විවේචන එල්ල කළ පුජ්‍ය පක්ෂයටද අදාළ රැස්වීම සඳහා ආරාධනා කිරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කළේය.

    Last modified on සිකුරාදා, 10 ජනවාරි 2020 09:46

    Latest News