සාලිය කුමරු පෙම්වතිය රැගෙන සැඟවූ නිම්නය අසළින්..සංචාරක තෝතැන්නක් වූ 'ගල්විල උද්‍යානය'..... (ඡායාරූප)

ජූනි 21, 2019

    දෙස් - විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය වැඩි කරලීමේ අරමුණෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ඇරඹි ‘’ගල්විල පාරිසරික උද්‍යානය’’ සංචාරක කර්මාන්තයට ගෙන දෙන්නේ නව ජීවයක්.

    මෙම උද්‍යානය පිහිටා තිබෙන්නේ පුත්තලම සිට අනුරාධපුර මාර්ගයේ කිලෝමීටර් 12ක් පමණ ගමන් ගත පසු කරුවලගස්වැව ප්‍රදේශයේ. ස්වභාව සෞන්දර්ය හා ඓතිහාසික පසුබිම මුල්කරගෙන සිදුකරන උද්‍යානයක් සංචාරකයින්ට දැකබලාගැනීමට හැකි වන්නේ මුල් වරටයි.


    සත්ව ගහණය සහ පාරිසරික තත්ත්වයන් නිසි අධ්‍යයනයෙන් පසුව වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව වසර දෙකක පමණ කාලයක සිට මෙම උද්‍යානයේ සංවර්ධන කටයුතු සිදු කරමින් පවතිනවා. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මගින් පරිසර පද්ධති සංරක්ෂණය සහ කළමනාකරණ ව්‍යාපෘති යටතේ ලෝක බැංකු ආධාර මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවෙනවා. මෙම පරිසර පද්ධතියේ ඉතා දැකුම්කළු විශාල ප්‍රමාණයේ කළුගල් හතකින් නිර්මාණය වූ කඳු යායක් පිහිටා තිබීම විශේෂත්වයක්. ජනප්‍රවාදයේ සඳහන් සාලිය අශෝකමාලා පෙම් පුවත හා බැඳුණු ඓතිහාසික වටිනාකමින් යුත් විළඳගොඩ පුදබිම පිහිටා තිබීම මුල් කරගෙන මෙම පරිසර පද්ධතිය ‘’ගල්විල පාරිසරික උද්‍යානය’’ ලෙස නම් කර තිබෙනවා.

    මෙම පාරිසරික උද්‍යානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වන්නියාගම, වීරක්කොඩිචෝලෙ, ඉපලෝගම යන වනාන්තර සංකීර්ණ තුනකින් සමන්විතයි.

    පුත්තලම - අනුරාධපුර මාර්ගය දෙපස මෙම උද්‍යානය ව්‍යාප්තව පවතී. වියළි කලාපීය වනාන්තර පද්ධතියක් වන මෙය හෙක්ටයාර 35000 ක වපසරියකින් යුක්තයි.
    සංචාරක උද්‍යානය විල්පත්තු ජාතික වනෝද්‍යානය හා කලාඔය නිම්නය තෙක් පැතිරී යයි. ගංගාධාර වියළි කලාපීය පද්ධතියේ සිට මෝසම් වනාන්තර, ස්වභාවික,ද්විතියික හා ප්‍රාමික වනාන්තරවල විවිධ සම්මිශ්‍රණයක් මෙම වනාන්තර පද්ධතියේ ද දැකගත හැකියි.

    වනාන්තර පද්ධතියේ වාර්ෂික උෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 27 සිට 30 දක්වා වන අතර වාර්ෂික වර්ෂාපතනය දළ වශයෙන් මිලි මීටර් 900ක් බව හඳුනාගෙන තිබේ.

    උද්‍යානය වියලි කලාපයේ පිහිටිය ද බොහෝවිට ශාක හරිත පැහැයෙන් යුක්ත වන අතර ජල මූලාශ්‍ර ද විශාල සංඛ්‍යාවක් දැකිය හැක. සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලයේ වැසි සමය වන අතර අන්තර් මෝසම් වැසි මාර්තු සිට මැයි දක්වා අපේක්ෂා කෙරේ. නියං කාලය ජුනි සිට සැප්තැම්බර් දක්වා විහිදේ මෙම උද්‍යානය වසර පුරා නැරඹිය හැකි බවට අපේක්ෂා කෙරේ.

    වියළි කලාපයේ ගැවසෙන ක්ෂීරපායි විශේෂ වන අලියා, දිවියා, ඕලුවලසා, මුවන් ඇතුළු විශේෂ තිහකට ආසන්න සංඛ්‍යාවක් මෙම වනාන්තරවල වෙසෙන බව හඳුනාගෙන තිබේ. එසේම බකමූනා, රාජාලියා, සුදු අයිබිස් ඇතුළු දුර්ලභ ගණයේ පක්ෂීන් විශාල සංඛ්‍යාවක් උරගයින් හා උභය ජීවීන් විශාල සංඛ්‍යාවක් දැකගත හැකි වේ. විවිධ ශාක විශේෂද වනාන්තරයේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරයි.

    මීට වසර 2000ට පමණ පෙර දුටුගැමුණු රජුගේ පුත් සාලිය කුමරු මෙම ප්‍රදේශවල ජීවත්වූ බව ඓතිහාසික සාක්ෂි වලින් පෙනී යයි. සාලිය කුමරු සිය පෙම්වතිය වන අශෝකමාලාව රැගෙන සැඟව සිටි ස්ථානය බවට සැලකෙන විලදගොඩ ඓතිහාසික ස්ථානය මීට කදිම සාක්ෂියකි.

    එසේම ඓතිහාසික වටිනාකම් රාශියක් දරාගෙන පස්වන මිහිඳු රජුගේ කාලය දක්වා සහ සාලිය කුමරුගේ කාලය දක්වා වනාන්තරය ඉතිහාසය දිව යයි. පුරාවිද්‍ය වටිනාකමින් යුත් විශාල ගල් පර්වතයක් මත පිහිටි ලුණු කන්දේ රහතන් වහන්සේලා වැඩසිටි බවට සාක්ෂි සහිතව පෙන්වා දෙයි. එම පර්වතයේ මත පිහිටි දාගැබ නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇතිබව පෙනේ. සතුන් දඩයම් කිරීම, අනවසර වැලි කැපීම් වැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ස්වභාවික වනය තරමක් දුරට විනාශ වී තිබුණ ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඊට පිළියම් යොදා සත්ව වාසස්ථාන වැඩිදියුණු කිරීමට කටයුතු සිදුකර තිබේ.


    භාරත දිසානායක මහතා - වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුත්තලම දිසාභාර වන නිලධාරී 

    " පුත්තලම අඩවි වන නිලධාරි කාර්යාලයේ සේවයේ නියුතු සියලුම දෙනා වසර දෙකක් තිස්සේ මෙම වනාන්තර සමූහය සංචාරකයන්ට දැකබලා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සපයමින් සහ වනාන්තරයේ ස්වභාවික සෞන්දර්යය එලෙසම පවත්වා ගැනීමට කටයුතු කරමින් මෙහි ප්‍රතිස්ථාපන කටයුතු සිදු කරනවා.

    සංචාරකයින්ගේ අවශ්‍යතාව සඳහා උද්‍යානය ආශ්‍රිතව පුත්තලම - අනුරාධපුර මාර්ගය දෙපස ගොඩනැගිලි ඉදි වෙමින් පවතිනවා. උද්‍යානය අභ්‍යන්තර මාර්ග පද්ධතිය ද ක්‍රමානුකූලව සකස් කරමින් සියලු යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙනවා.

    මේ වසර දෙක පුරාවටම සතුන්ගේ අහිමිවුණ වාසස්ථාන රැකදීම, වැඩිදියුණු කිරීම, විශේෂයෙන් ජල සංරක්ෂණය සඳහා කැඩීබිඳී ගිය වැව් අමුණු සතුන්ට ප්‍රයෝජනයට ගැනීමට පුළුවන් අන්දමින් සකස් කිරීම සිදුකෙරෙනවා. සතුන්ගේ ආහාර රුචිය ඇතිකරන විශේෂ තෘණ වර්ග වගා කිරීම, වනඅලි අරමුණු කරගෙන ආක්‍රමණශීලී ශාක වන කලපු අන්දර ඉවත් කිරීම, එම ශාක ඉවත් කරන ප්‍රදේශවල සතුන්ට අවශ්‍ය තෘණ වර්ග හා ශාක වර්ග වගා කිරීම සිදු කරනවා.

    පසුගිය කාලසීමාව තුළ කළ මෙම කැපකිරීම තුළ ජෛව විවිධත්වය යථා තත්ත්වයට රැගෙන ඒමට හැකි වී ඇති බව අපි විශ්වාස කරනවා. ඉදිරියේදී වියළි කලාපීය පරිසර පද්ධතිය හා ඒ ආශ්‍රිතව පවතින ඓතිහාසික වටිනාකමින් පරිසර හිතකාමී සංචාරක කර්මාන්තයක් මෙම වසර අවසන් වීමට පෙර සංචාරකයන්ට විවෘත කිරීම තමයි අපේ අරමුණ"

    පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටි විල්පත්තු අභයභූමියේ, ආනවිලුන්දාව කුරුළු අභයභූමියේ අසිරිය නැරඹීමට පැමිණෙන පාරිසරික සංචාරක කර්මාන්තයට ඇලුම්කරන දෙස් - විදෙස් සංචාරකයන්ට නැවුම් අත්දැකීමක අසිරිය විදීමට ලැබෙන දිනය වැඩි ඈතක නොවේ.

     (පුත්තලම වාර්තාකරු - මිහිර විජේසේකර)

    IMG 630520cf893003a37b9b862d7de3e697 V 1

    IMG 891ec5bdfafd1bb27f799f0773145f03 V 1

    IMG 92f218d84e748d808554810b091a1025 V 1

    IMG 8db3428dfd0fe8a90950612cd362d0da V 1

    IMG 8b01cd7c1dca306721bb4c02b7ac4dd3 V 1

    IMG a5dccaa15c8582803395f8af31222ef7 V

    IMG dac93f01f97da27ab3ab981f529dee58 V 1

    IMG eb44b308b4ab805384e20c4a8cf1678c V 1

    IMG ffe8aef2886f5c96ceeb143dcc34fad3 V 1

    IMG 8593 1

    IMG 8604 1

    IMG 8642 1 2

    IMG 8636 1 1

    IMG 8741 1

    IMG 8745 1

    IMG 8752 1

    IMG 8757 1

    IMG 8768 1

    IMG 8770 1

    IMG 8689 1

    Last modified on සිකුරාදා, 21 ජූනි 2019 13:32

    Latest News