හිටපු ජනපති ජේ.ආර්.ජයවර්ධන මහතා ජපානයට සාමය උදාකරදීමට කළ දේශනය අනුස්මරණය කෙරේ...

සැප් 07, 2021

    ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතා විසින් ජපානයට සාමය උදාකරදිම වෙනුවෙන් 1951 සැප්තැම්බර් 06 වැනිදා අමෙරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නුවරදි කළ දේශනය අනුස්මරණය කිරීමේ උත්සවය ජපානයේ ටෝකියෝ නුවර පිහිටි ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජීව් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදි ඊයේ (06) පැවැත්විණ.  

    ජේ.ආර්.ජයවර්ධන මහතා ශ්‍රි ලංකාවේ මුදල් ඇමතිව සිටිය දී  සැන් ෆ්රැන්සිස්කෝ නුවර පැවති සමළුව අමතමින් ජපානයට සාමය උදාකරදිමට අවශ්‍ය කරුණු සිය දේශනයෙන් ඉදිරිපත් කළේය. 

    ජපානයට සාමය ලැබිමේ 70 වැනි සංවත්සරය සැමරීමට සමගාමිව, මෙම සැමරුම් උත්සවය පැවැත්විණ. වත්මන් කොරෝනා වෛරස් තත්වය හමුවේ සීමිත ජපන් ප්‍රභූ නියෝජිත පිරිසක් සමඟින් මෙම සැමරුම් උත්සවය පැවති බව ජපානයේ ශ්‍රි ලංකා තනාපති කාර්යාලය පවසයි. 

    සාම්ප්‍රදායිකව පහන් ආලෝකමත් කිරිමෙන් සහ මල් තැබීමේන් අනතුරුව උත්සවය ආරම්භ විය.

    හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා සැන්ෆ්‍රැන්සිස්කෝ නුවරදි කළ දේශනය කියවීම ප්‍රධාන වශයෙන් සිදුකෙරිණ. ඡායාරූප ප්‍රදර්ශනයක්, දේශනය පිළිබඳ සහ 1951 සැන් ෆ්රැන්සිස්කෝ සමුළුවේ දර්ශන ඉදිරිපත් කිරීමක් ඊට සමගාමීව පැවැත්විණ.

    ජපානයේ රජයේ සාමය ගොඩනැගීම, පුනරුත්ථාපනය හා ප්‍රතිසංස්කරණය පිළිබඳ හිටපු නියෝජිත යසුෂි අකාෂි මහතා, ජපානයේ හිටපු අගමැති යසුඕ ෆුකුඩා මහතා සහ වර්තමාන ජපාන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී මිත්‍රත්ව ලීගයේ මහලේකම් යූකෝ ඔබුචි මහත්මිය මෙම අනුස්මරණ උත්සවයේදී අදහස් දැක්වුහ.

    හිටපු ජනාධිපති ජේ.ආර්.ජයවර්ධන මහතාගේ මුනුබුරෙකු වු ප්‍රදීප් ජයවර්ධන මහතා කොළඹ ජයවර්ධන මධ්‍යස්ථානයේ සිට සූම් තාක්ෂණය ඔස්සේ සජීවි වැඩසටහනට සහභාගී වී අදහස් පල කළේය. ආසියානු රටවල බොහෝ සාකච්ඡා හා හමුවීම් වලින් පසු ජපානයේ සාම කතාව ගොඩනැගුනු බවත් ඒ පිළිබඳ ඉතිහාසය ස්පර්ශකළ ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජිව් ගුණසේකර කියා සිටියේ ස්වාධීන ජපානය සඳහා වූ පදනම වුයේ "කොළඹ සැලසුම් සම්මන්ත්‍රණයේ" බවයි.

    අන්‍යෝන්‍ය ප්‍රශංසාව මත ගොඩ නැගී ඇති ශ්‍රී ලංකා - ජපාන සබඳතා පිළිබඳව තානපතිවරයා විසින් අදහස් පල කළේය. දෙරටේ ජනතාව අතර පොදු වූ සාරධර්ම, සංස්කෘතිය සහ බුදුන්ගේ ඉගැන්වීම පිළිබඳව ද මෙහිදි සිහිපත් කෙරිණ.

    මෙම උත්සවය ආවරණය කිරීමට ජපානයේ ප්‍රධාන රූපවාහිනී නාලිකා මෙන්ම සියලුම මුද්‍රිත ආයාතන සහභාගි වු අතර එම අවස්ථාව සජිව විකාශයක් සිදුකෙරිණ.

    JR Jayewardene 01

    PHOTO 2021 09 07 10 14 52

    JR Jayewardene 02

    JR Jayewardene 03

    Last modified on අඟහරුවාදා, 07 සැප්තැම්බර් 2021 18:43

    Latest News