කුරුළු පර්යටනය ලෙස සැළකෙන්නේ දේශගුණික හේතුන් මෙන්ම ජීව විද්‍යාත්මක හේතුන් මත ලොව විවිධ රටවල වෙසෙන පක්ෂීන් අන් රටවල්වලට සංක්‍රමණය වීමයි.
බොහෝ විට පක්ෂි පර්යටනය සිදුවන්නේ ඇතැම් රටවල ශීත කාලය එළැඹීමත් සමගය. ඒ අනුව පක්ෂීන්ට අවශ්‍ය ආහාර හා වාසස්ථාන සොයා ගැනීම අපහසුවන හෙයින් පක්ෂීහු තමන්ට ජීවත් වීමට සුදුසු දේශගුණයක් සහිත ස්ථාන සොයා පියාඹා යති.
ශ්‍රී ලංකාවට පර්යටනය සිදුවන්නේ සයිබීරියාව, උතුරු ඉන්දියාව හා මධ්‍යම රුසියාව වැනි ප්‍රදේශවල සිට බව පක්ෂී විද්‍යාඥයෝ පවසති.
පක්ෂි පර්යටනයේ දී ඔවුන් ගමන් ගන්නා නිශ්චිත ගමන් මාර්ගයක් පවා දැකිය හැකි අතර ඔවුන් විවේක ගැනීමට නවතින ස්ථාන පවා පැහැදිලිවම දක්ට ලැබේ. මෙම රටවල් වල සිට පක්ෂීහු වර්ග 115 සිට 150 දක්වා ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වෙයි.
අපේ රටේ දේශගුණික උචිතභාවය නිසා ඇතැම් පක්ෂීන් ආපසු නොගොස් මෙහිද පදිංචි වන අවස්ථා ද වාර්තා වී තිබේ.
දැනට හඳුනාගෙන ඇති පරිදි අප රටට පක්ෂි පර්යටනය සිදුවන කලාප තුනකි. ඉන්දියානු බටහිර වෙරළ තීරය ඔස්සේ පැමිණ කල්පිටිය ආශ්‍රිත ප්‍රදේශවලින් රටට ඇතුළු වන පිරිසක්ද, ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරය ඔස්සේ පැමිණ යාපනය, මන්නාරම ආශ්‍රිත ප්‍රදේශවලින් රට තුළට ඇතුළු වන පිරිසක්ද, අන්දමන් දුපත් හරහා පියඹා පැමිණ යාපනයත්, ත්‍රිකුණාමලයත් අතර ප්‍රදේශයෙන් රටට ඇතුළු වන පක්ෂීහු පිරිසක්ද එම කාණ්ඩ තුනට අයත්ය.
ශ්‍රී ලංකාවෙන් වඳ වී යාමේ තර්ජනයට ලක්ව ඇති වනසතුන් හා තුරුලතා සම්බන්ධව සකස් කරන ලද රතු දත්ත පොත මේ වනවිට නව සංස්කරණය මුද්‍රණය කර අවසන් කර තිබේ. මෙම රතු දත්ත පොත වහාම සංස්කරණය කර නව වෙළුම සකස් කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දුන්නේය.
ඒ අනූව එම රතු දත්ත පොත එළිදැක්වීම මෙම සතියේ සිදු කිරීමට නියමිතව තිබුන ද පවතින තත්ත්වය මත තවත් දින කිහිපයකින් කල් දැමීමට තීරණය කර ඇත. මේ සඳහා සහයෝගය දැක්වු සියලුම පරිසර සංවිධාන හා පරිසරවේදීන් කැඳවා රතු දත්ත පොත එළිදැක්වීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් දෙනු ලැබීය.
කෙසේ වුවද අප රටේ වඳ වී යාමේ තර්ජනයට ලක් ව සිටින පක්ෂීහු සම්බන්ධයෙන් ද මෙහි තොරතුරු අන්තර් ගත වන අතර වර්ග කිලෝමීටරයක් තුළ වැඩිම වනජීවින් පිරිසක් ජීවත් වන ලොව එකම රට වශයෙන් අපේ රට සම්බන්ධයෙන් පවතින ජාත්‍යන්තර පිළිගැනීම ඉදිරියටත් පවත්වා ගෙන යමින් වනසතුන්ට ජීවත්විය හැකි උචිත පරිසර පවත්වා ගැනීම අතිශය වැදගත් බව පරිසර අමාත්‍යවරයා පවසයි.
කොවිඩ් 19 වසංගත තත්ත්වයත් සමග බැහැර කරන අතිවිශාල මුහුණු ආවරණ ප්‍රමාණය විශේෂයෙන් පක්ෂීන්ගේ පැවැත්මට ඉතාමත් හානිකර තත්ත්වයක් උද්ගත කර තිබේ. දැනට වාර්තා වන අන්දමට දිනකට අපේ රටේ බැහැර කරන මුහුණු ආවරණ ප්‍රමාණය මිලියන 15කි. 2020 පළමු මාස 06 තුළ පමණක් මේ රටට ටොන් 800ක මුහුණු ආවරණ ආනයනය කර තිබේ.
එමනිසා මුහුණු ආවරණ භාවිතයෙන් අනතුරුව බැහැර කිරීමේ දී එහි දෙපස ඇති කණට සම්බන්ධවන නූල් කපා දැමීමට අවධානය යොමු කරන්නැයි, අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මෙම නූල් පක්ෂීන්ගේ ගෙළ ප්‍රදේශයේ සිරවීම නිසා පක්ෂීහු විශාල ප්‍රමාණයක් මරණයට පත් වන බව ද වාර්තා වී තිබේ.
ලොව පුරා රටවල් පක්ෂි පර්යටන දිනය සමරති. එමනිසා අපේ රට සරසන සොබා දහමේ අපුරු නිර්මාණයක් වන පක්ෂීන්ට ජීවත්විය හැකි ආකාරයට සොබා දහම රැක ගැනීම සඳහා දායක වීම අපි හැමගේම වගකීමක් බව අමාත්‍යවරයා අවධාරණය කරයි.